වසර හතකට පසු වැඩිම මී උණ රෝගීන් ප්‍රමාණය මේ වසරේ ගෙවී ගිය මාස නමයක කාලය තුළ වාර්තා වී තිබේ.
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදී මී උණ රෝගීන් හයදහස් එකසිය දහඅටක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම කාලය තුළ වැඩිම මී උණ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය එක්දහස් තුන්සිය හතළිහකි. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් හත්සිය දහහතරක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් හයසිය තිස්පහක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හාරසිය හැටඑකක් වාර්ත වී තිබේ.



පොදුවේ මොනරාගල දිස්ත්‍රික්කය හැර අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී තිබෙන අතර, මේ වසරේ ජනවාරි මාසයේදී රෝගීන් හයසිය හැටපහක්, පෙබරවාරි මාසයේදී හාරසිය පනස්හතක්, මාර්තු මාසයේදී රෝගීන් දෙසිය විසිහතක්, අප්‍රේල් මාසයේදී රෝගීන් එකසිය පනස්හයක්, මැයි මාසයේදී රෝගීන් එක්දහස් තුන්සිය එකළොහක්, ජුනි මාසයේදී රෝගීන් එක්දහස් එකසිය අසූඅටක්, ජූලි මාසයේදී රෝගීන් හයසිය අනූහයක්, අගෝස්තු මාසයේදී පන්සිය අසූපහක් සහ සැප්තැම්බර් මාසයේදී රෝගීන් අටසිය තිස්තුනක් වාර්තා වී ඇත.

මීට අමතරව පසුගිය වසරේදී මී උණ රෝගීන් හයදහස් විසිඑකක්, 2018 වසරේදී පන්දහස් දෙසිය පනස්හතක්, 2017 වසරේදී මී උණ රෝගීන් තුන්දහස් හයසියඑකක්, 2016 වසරේදී හාරදහස්පහක්, 2015 වසරේදී හාරදහස් හාරසිය දෙකක්, 2014 වසරේදී තුන්දහස් දෙසියදාහතරක් සහ 2013 වසරේදී හාරදහස් දෙසිය හැත්තෑහයක් වාර්තා විය.


 - ඉන්දිකා හේවාවිතාරණ -