මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කෝවිඩ්-19 පොකුරේ තව ආසාදිතයෙකු පෙරේදා (12දා) රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයෙන් හමු වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ආසාදිතයා කොල්ලුපිටිය කම්හල් ශාඛාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි 34 හැවිරිදී දෙදරු පියෙකි.

එම පුද්ගලයා පසුගිය දිනවල කම්හලේ කෝවිඩ්-19 ආසාදිත පොකුර වාර්තා වීමත් සමඟ එම ආයතනය කාර්යමණ්ඩල සඳහා පසුගිය 06 වැනිදා පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කළ අතර, පෙරේදා (12දා) රාත්‍රියේදී නිකුත් කළ වාර්තාවෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහු සමඟ සිටි වෙනත්

ප්‍රදේශවල පුද්ගලයන් සිවුදෙනෙකුටද කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒඅනුව එදින රාත්‍රියේ ගල්කිස්ස පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, යුද හමුදාව එක්ව රත්මලාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටි බිරිඳ මාස 3ක් හා අවුරුදු 3ක්ද වන දරු දෙදෙනා, ගෘහ සේවිකාවන් දෙදෙනාද, බිරිඳගේ මව, පියා සමඟ රෝගියාගේ පියාද ඇතුළු පුද්ගලයන් 08දෙනෙකු එම කර්මාන්තශාලාවේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. රෝගියා ප්‍රතිකාර සඳහා ඉරණවිල රෝහල වෙත යොමුකර තිබෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම ආසාදිත පුද්ගලයාගේ මව සහ පියා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැති පොත් ප්‍රදර්ශනයේදී අලෙවි කුටියක්ද පවත්වාගෙන ගොස් ඇති අතර, ආසාදිත පුද්ගලයාද එහි ගොස් ඇති බවටද හෙළිව තිබේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලීසිය, රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්යමණ්ඩලය සහ යුද හමුදා නිලධාරීහු එක්ව සිදුකරති.

 - එච්.එම්. ධර්මපාල -