කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක දෙකෙහි පුද්ගලයන්ගේ පී.සී. ආර්. පරීක්‍ෂණ සහ කොළඹ ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් රත්නපුර ශික්‍ෂණ රෝහලට යොමුකරන ලද ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණ ද ඇතුළුව පෙරේදා (27දා) දිනයේදී රත්නපුර ශික්ෂණ රෝහලේදී පී.සී.ආර්. පරික්‍ෂණ 130ක් පමණ සිදු කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛදය අනෝජ් රොද්‍රිගු මහතා පැවසීය.

රන්තපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ (28) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පෙරේදා (27දා) වනවිට

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17න් 'කෝවිඩ්-19' ආසාදිතයන් 30ක් හමුව ඇති බවයි.

වැඩිම ආසාදිත පිරිසක් රතනපුර සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් වාර්තා වී ඇත. ඒ පිළිවෙළින් ආසාදිතයන් නවයක් සහ අටක් ලෙසිනි. එමෙන්ම කිරිඇල්ල කොට්ඨාසයෙන් සිවුදෙනෙක්ද. ඇලපාත, කහවත්ත සහ ඇඹිලිපිටිය යන කොටිඨාසවලින් දෙදෙනා බැගින්ද ආසාදිතයන් හයදෙනෙක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ දැක්වේ. කුරුවිට, අයගම සහ ගොඩකවෙල යන කොට්ඨාසවලින් එක් ආසාදිතයා බැගින් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී තිබේ. 

රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වනවිට පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර අවශ්‍ය අයගේ පී.සී.ආර්.පරික්ෂණ කඩිනමින් සිදුකරන බව රත්නපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.

සිරිපාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් නවයකට පැනවූ සංචරණ සීමා තවදුරටත් පවතින බව රත්නපුර පොලිස් අධිකාරි ෙස්නක වීරසිංහ මහතා පැවසුවේය. ඒ අනුව උතුරු ගිලිමලෙ, දකුණු ගිලිමලෙ, මාපලාන, පාගොඩ, කැටවල, ගුරුලුවාන, ශ්‍රී පලාබද්දල, ඇඹුල්දෙණිය, සිරිපාගම යන ග්‍රාමනිලධාරි වසම්වලට මෙම සංචරන සීමා පනවා ඇති බව පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

'කෝවිඩ්-19' අවදානම් සහ අධිඅවදානම් ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය නීති අනුගමනය කරන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සහ අත්පත්‍රිකා මගින් දැනුම්වත් කිරීම් සිදුකරන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

ඇඹිලිපිටිය නව නගරයේ නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයක්ද පිහිටුවා තිබේ.

- අජිත්ලාල් ශාන්තඋදය-