පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට සාක්ෂි ඇතැයි කියමින් මාස පහකට පෙර අත්අඩංගුවට ගත් රියාද් බදියුදීන් (හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ  සොහොයුරා)චෝදනා නැතැයි කියමින් නිදහස් කිරීම ගැන සැකයක් මතුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ
පෙරේදා (3) පැවසූහ.  අධිකරණ ක්‍රියාවලියකින් තොරව ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් වැත්විය යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ. මෙම තිදහස් කිරිම පිටුපස දේශපාලන ඩීල් තිබෙන්නේ ද යන්න ගැන සැකයක් මතුවන බව ද කාදිනල්තුමෝ කීහ.  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී පෙරේදා (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු මත දැඩි චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටි හැටියේ නිදහස් කිරීම සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය, විරෝධය, කනස්සල්ල හා විමතිය පළකරන බව කී කාදිනල්තුම මේ සම්බන්ධයෙන්  පාස්කු ඉරුදිත ප්‍රහාරයේ වින්දිතයන් දැඩි කැළඹීමකට පත්ව සිටින බව ද පැවසූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එදා සහ අද කරන ප්‍රකාශ පරස්පර විරෝධී බව කී කොළඹ අගරදගුරුතුම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරික්‍ෂණ මේ වන විට දියාරුවෙමින් පවතින බව පෙනෙන්නේ යැයි ද කීහ සිදුවෙමින් පවතින මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් අත සෝදාගෙන පැත්තකටවීමේ හැකියාවක් තමන්ට නැතැයි කී කාදිනල්තුමෝ ප්‍රහාරයෙන් මරණයට පත් වූ අයගේ පවුල සාමාජිකයන්ට හා ආබාධිත වී සිටින අයට පොරොන්දු වූ යුක්තිය සංධාරණය ඉටුකරදීමට කතෝලික මැති ඇමැතිවරුන්  හා මන්ත්‍රීවරුන් මෙන්ම අනෙක් අය ද කටයුතු කළ යුතු යැයි සඳහන් කළහ.

මේ අතර මෙම ප්‍රකාශයෙන් පසු ඊයේ (4) ජනපති ගෝඨාභය රාජපක්ෂ රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම දේශපාලන සම්බන්ධයක් මත සිදුව නැතැයි දන්වා සිටියේය. ඒ මෙසේය.
පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී.
එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.
පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.
අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි.
මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.

මේ අතර අගරදගුරු තුමන් පාර්ලිමේන්තුවේ සියලු කතෝලික මන්ත්‍රීවරුන්ට හෙට (6) කැඳවීමක් කර ඇත. අගරදගුරු නිවසේදී මෙම හවුන පැවැත්වෙන අතර එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ දැන් කියැවෙන කාරණා සාකච්ඡා කරනු ඇතැයි වාර්තා විය.