ඊයේ දිනයේ හමුවූ නව ආසාදිතයින් 194 කි. මේ නිසා සමස්ත ආසාදිතයින් 5038 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වන බව රජය කියයි.ඒ අතර නිරෝධායනය වෙමින් සිටි 80 දෙනෙකු සහ ආශ්‍රිතයන් 114 දෙනෙකු සිටින බව දන්වා ඇත.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුර 1591 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ හමුවූ ආසාදිතයින් ගැන අද උදෑසන රූපවාහිනි නාලිකාවකට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ කියා සිටියේය.

“ඊයේ දිනයේ දී වාර්තා වු අයගෙන් 80 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පවතින

අයවලුන්. තවත් 114 දෙනෙක් නිරෝධායනය නොවන නමුත් වෙනත් ස්ථානවලින් හෝ ස්වයං නිරෝධායනයක ලක් නොකරපු අය හැටියට වාර්තා වෙනවා. එයිනුත් බහුතරයක් වාර්තා වෙන්නේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ප්‍රදේශවලින්. ඒ අනුව ගම්පහ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකුත් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 38 දෙනෙකුත් දිවුලපිටියෙන් 34 දෙනෙක් හා විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වෙනවා ප්‍රධාන වශයෙන්. ඊට අමතරව කොළඹින් 7දෙනෙක් කිරිඳවෙල ප්‍රදේශයෙන් 4 දෙනෙකුත් ඇතුළුව කුරුණෑගල, කිරිඳිවෙල, කොළඹ සහ ගනේමුල්ල කියන ප්‍රදේශවලින් සාමාන්‍යයෙන් 4ක් 7ක් හෝ 8ක් පරාසයක හමුවෙනවා. ඊට අමතරව ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කඩුවෙල, නුගේගොඩ, රත්මලාන, මීගමුව, ජාඇළ, ඇඳිරි නීතිය නැති ස්ථානවලින් කළුතර, රත්නපුර, ගනේමුල්ල, අනුරාධපුර කියන ප්‍රදේශවලින් සහ හොරණින් එක් පුද්ගලයෙකු හෝ හමුවු ප්‍රදේශ හැටියටයි මේ අනුව වාර්තා වෙන්නේ.“

“ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයෙක් හෝ හමුවී තිබෙනවා. කොළඹත් හමුවුණ සංඛ්‍යාවන් තිබෙනවා. සමහර අවස්ථාවලදී ‘ඕවර් රියැක්ෂන්‘ තියෙනවා මිනිස්සුන්ගේ. හමුවුණා කියන වාර්තා වෙන එක හිතලත් කඩ සාප්පු වසා දමන තත්ත්වයක් තියෙනවා. නමුත් ඇත්ත අවශ්‍යතාවය තමුන් පරිස්සම් වීමත් තමුන් කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට වග බලා ගැනීමත් අනුන්ට මේක නොදෙන ආකාරයෙන් ජීවත් වීමත්... මේ විදියට රටේ කුමන ප්‍රදේශයකින් එක් කෙනෙක් හමුවුණත් ඉතා වැදගත් වෙනවා. මොකද එක් අයෙකුට විශාල සංඛාවකට පතුරන්න පුළුවන් කියන එක.“යනුවෙන් පැවසීය.