කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට තම විද්‍යාඥයන් නිපදවු 'ස්පුට්නික් 5' නමැති එන්තන,ලොව පුරා  බෙදා හැරීම සඳහා අනුමැතිය දෙන්නැයි රුසියන් රජය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. රුසියන් රජය මෙම ඉල්ලීම කර ඇත්තේ, ‘ස්පුට්නික්' 5 එන්තන සම්බන්ධයෙන් සිදුකළ සියලු සායනික අත්හදා බැලීම් සාර්ථකව අවසන් වූ බවත්, අතුරු ආබාධ වාර්තා නොවන බව තහවුරු වී ඇති බවත් පෙන්වා දෙමිනි.

එන්නත නිපදවීමට මුදල් ආයෝජනය කළේත්,  ඉදිරියේ දී එන්නත විකිණීම සහ බෙදා හැරිම සිදු කෙරෙනු ඇත්තේ රුසියන් රජයේ,

සෘජු ආයෝජන  අරමුදල හරහාය. 'ස්පුට්නික් 5' එන්නත සඳහා අනුමැතිය ලබා දෙන මෙන් ඉල්ලා රුසියානු සෘජු ආයෝජන අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇයැදුම්පතක් යොමු කර ඇතැයි ද පැවැසෙයි. රුසියානු රජය,'ස්පුට්නික් 5' ඒන්නත එරට ලියාපදිංචි කළේ මීට මාස කීපයකට පෙරය. ඒ, එය ආරක්ෂිත බවට රුසියන් වෛද්‍ය සභාවේ  අනුමැතිය හිමිවීමෙනි. ඒ අනුව, ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා මර්දන එන්නත වන්නේ 'ස්පුට්නික් 5'ය. ලොව පළමුවෙන් උඩු ගුවනට යැවුණු සෝවියට් සමූහාණ්ඩුවේ 'ස්පුට්නික් 1' චන්ද්‍රිකාව සිහිගන්වමින්, එන්නත 'ස්පුට්නික් 5'යනුවෙන් නම් කර තිබේ.

'ස්පුට්නික් 5' එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් කිසිවක් පවසා නැත. කෙසේ නමුත් රුසියානු විරෝධී බටහිර රටවල් පවසා ඇත්තේ රුසියන් රජය එන්නත ලබා දීම කළේ රුසියානුවන්ගේ ජීවිත අනතුරේ දමමින් බවත්, එන්නත ලබා ගත් ඇතැමුන්ගෙන් අතුරු ආබාධ පෙන්නුම් කරමින් සිටින බවත්ය.  රුසියානු එන්නත සාර්ථක යැයි තහවුරුත් කරමින්, එය සෙසු රටවලට විකිණීමේදී රුසියාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහ අවසරය ලබා දීම අවශ්‍ය වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතට අනුමැතිය දෙනු ඇත්තේ, ඒ සම්බන්ධයෙන් සියලු පර්යේෂණ වාර්තා අධ්‍යයනය කිරිමෙන් පසුවය.

කොරෝනා වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඇතිකරවන 'ස්පුට්නික් 5'  නිපදවා ඇත්තේ  රුසියාවේ ගමලේයා ඖෂධ නිෂ්පාදන සහ පරේෂණ සමාගමය. ඒ, රුසියානු හමුදාවේ අධීක්ෂණය යටතේ බව ද පැවැසෙයි. රුසියාවේ ලියාපදිංචි කිරිමෙන් පසු, එන්නත ලබා දීම සිදුවූයේ අවුරුදු 18 ට වැඩි 65 ට අඩු පුද්ගලයන්ට පමණි. මේ වනවිට රුසියාවේ තවත්  වෛද්‍ය පර්යේෂණ සමාගම් දෙකක් ද කොරෝනා ආසාදනය වීම වැළැක්වීමේ එන්නත් දෙකක් නිපදවමින් ඇති අතර එයින් එකක් අවසන් සායනික අත්හදා බැලීම් සඳහා යොමු කර තිබේ.  එය ද

රුසියන් රජය විසින් ලියාපදිංචිය කරනු ලැබ ඇතැයි පැවැසෙයි. අනෙක් එන්නත ලබන දෙසැම්බරයේ එළිදැක්වීමට නියමිත බව පැවැසෙයි.

කොවිඩ් 19 වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කළ හැකි එන්නතක් නිපදවීමට රටවල් රැසක ඖෂධ නිෂ්පාදන සමාගම් අතරේ පවතින්නේ ලොකු තරගයකි. එන්නත් නිපදවීම අතින් ඉදිරියෙන් පසුවන්නේ රුසියාව සහ චීනයයි. චිනය ඔවුගේ එන්තන නිපදවීම සිදු කරමින් පවතින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද හවුල් කර ගනිමිනි. එම එන්තන නොමිලේ ලොවට දෙන බව චීනය පවසා ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම වැලැක්වීමේ සාර්ථක එන්නතක් වනු ඇතැයි  ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය තබා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාල සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ සමාගම එක් වී නිපදවන එන්නතය. මෙම ඔක්සෆර්ඩ් එන්නත සාර්ථක මෙන්ම ආරක්ෂිත එකක් වනු ඇති බව ලොව බොහෝ දෙනකුගේ විශ්වාසය වී තිබේ.  එකන්න නත්තලට කලින් එළිදැක්වෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන  සිටියත්, එය එළිදැක්වෙන්නේ ලබන වසරේ යැයි ඔක්සෆර්ඩ් විද්‍යාඥයන් පවසා ඇත.