ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධයක් වන සුදර්ශන පැණිය බටහිර වෛද්‍ය ක්‍රමය භාවිත වන රජයේ රෝහල්වල භාවිත කිරීම නීති විරෝධි කටයුත්තකැයි ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන අජිත් අමරසිංහ මහතා පැවැසීය. වසර දහස් ගණනක් පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඇති සැකයක් නොව ප්‍රශ්න පවතින්නේ එය භාවිතයට ගැනීමට සූදානම් වන ක්‍රමවේදය පිළිබඳව යැයි ද අමරසිංහ මහතා කීය. බටහිර ක්‍රමයේ පුහුණු වෛද්‍යවරයකු ආයුර්වේද  ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයකට ඖෂධයක් රෝගියකුට තුණ්ඩුවකින් ලියා දීම බරපතළ වෘත්තීය ආචාරධර්ම කඩකිරිම් ගණයට  වැටෙන වරදක් බවත් එයට දඩුවම වන්නේ ලියාපදිංචිය අහෝසි කිරීම බවත් ඔහු කීය.


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති බෙහෙතක් රජයේ රෝහලක නියම කිරීම ද එවැනි වරදක් වන්නේ යැයි ඔහු පෙන්වා දුන්නේය. මෙරට නිෂ්පාදිත ඖෂධයක් වුව ද ජාතික නියාමන අධිකාරියේ ලියාපදිංචියට පෙර එය සායනික පරික්ෂණවලට යොමු කර යම් යම් මට්ටම්වලින් පරික්ෂා කර ඇත්තේ ද ඖෂධය ක්‍රියාකාරී ද ආදී තත්වයන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි පෙන්වා දුන් වෛද්‍ය අමරසිංහ මහතා අධිකාරියේ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් කළ හැක්කේ ඉන් අනතුරුව යැයි ද කියා සිටියේය.  නීත්‍යනුකූල ක්‍රමවේද කිසිවක් නැතිව සුදර්ශන  පැණිය බටහිර වෙද්‍ය ක්‍රමය  අනුගමනය කරන රෝහල්වල භාවිතයට නිර්දේශ කිරිමෙන් පවතින ක්‍රමවේද උල්ලංඝනය කිරීම ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විහිළුවකට හා හැල්ලුවට ලක්කිරීමක් ද සිදුවන්නේ යැයි කී අමරසිංහ මහතා එයත් බරපතළ වරදක් වන්නේ යැයි ද කීය.

 -විනීතා එම්. ගමගේ-