කොවිඩ් නයින්ටීන් වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බැවින් එය ශ්‍රී ලංකාව තුළ පාලනය කළ පමණින් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියාසිටියේය.
“මේ අවස්ථාවේ දී කොවිඩ් -19 සමග ජීවත්වීමට අපි ඉගෙන ගන්න ඕනේ. කොවිඩ් -19 කියන්නේ, ගෝලීය වසංගතයක්. එය අද හෙට ඉවර වෙන දෙයක් නෙමෙයි. අපේ රටට විතරක් මෙය පාලනය කරලා නිදහසේ ඉන්න බැහැ. ඒක නිසා ලෝකයෙන්ම කොවිඩ් – 19 වසංගතය තුරන් වෙන තාක් අපිටත් කොවිඩ් 19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා.
වෙනදා වගේ සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය පනවලා සමාජ ක්‍රියාකාරීත්වය නවත්වලා අපිට මේ කොවිඩ් – 19 රෝගයට දිගින් දිගටම මුහුණ දීමට හැකියාවක් නෑ. සාමාන්‍ය ජන ජීවිතය අපට හැකි උපරිම මට්ටමින් පවත්වාගෙන යන ගමන් කොවිඩ් – 19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා. උසස් පෙළ විභාගය ආරම්භ වී මාසයක් පුරා පැවැත් වෙනවා. ඉතින් මෙතැනදී දරුවන්, දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් විශාල කාර්යභාරයක් තියෙනවා කොවිඩ් -19 තියෙන කොටම කිසිදු බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත් වීමට. උසස් පෙළ විභාගයට රෝහල්වල සිටින අයට, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට, විභාගයට ලියන්න පහසුකම් සලසා තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ අභියෝගය කොවිඩ් -19 තියෙන කොටම ඉතාම සාර්ථකව රටේ දරුවන්ගේ අනාගතය තීරණය කරන විභාගයක් පැවැත් වීමයි.“
0 Comments