දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගැනීමටත්, අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමටත් හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ පළමු ක්‍රිකට් පාසල සූරියවැව ජාතික පාසල මූලික කර ගනිමින් ආරම්භ කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි සියලු පුහුණුවීම් කටයුතු සූරීයවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.
මෙම වැඩසටහන සඳහා පාසල් ක්‍රිකට් සංගමයේ මැදිහත් වීම මත එළඹෙන වසරේ 08 ශ්‍රේණියට ඇතුළත් වන මෙරට සිටින දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකු තෝරා ගැනීමට නියමිතව ඇති අතර, ඔවුන්ට සූරියවැව ජාතික පාසල තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන වෙනම පන්ති කාමරයක් තුළ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දී ඇත.


2021 වසරේ ජනවාරි මස සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එතැන් සිට ශ්‍රේණියෙන් ශ්‍රේණියට නව පන්ති කාමරය බැගින් ආරම්භ කෙරේ. මෙහිදී උසස් පෙළ දක්වා එම දරුවන්ට අධ්‍යාපන කටයුතු  සිදුකිරීමටත්, අවශ්‍ය සිසුන්ට මුලික විෂයන්ට අමතරව NVQ මට්ටමේ තාක්‍ෂණික විෂය ධාරා ඔස්සේ ද උසස් අධ්‍යාපනය හැදෑරීමටත් අවස්ථාව සලසා ඇත. මෙම කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියද ලැබී තිබේ.

මෙම තෝරාගන්නා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනා සඳහා නේවාසික පහසුකම්, ක්‍රීඩා උපකරණ, සපත්තු, ඇඳුම් ඇතුළු සියලු දේ සඳහා අනුග්‍රහය දැක්වීමට පෞද්ගලික ආයතන මේ වන විටත් ඉදිරිපත් වී ඇත. මේ අතර ඉදිරියේදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කරගමින් දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය තුළද මෙවැනිම වැඩසටහනක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජප්පක්‍ෂ මහතාගේ සංකල්පයක් මත මෙම කටයුත්ත සිදුවන අතර, එය ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව මලල ක්‍රීඩා, වොලිබෝල් වැනි මෙරට තෝරාගත් ක්‍රීඩා කිහිපයක් සඳහාද ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා අදහස් කර තිබේ.

ඒ අනුව එක් එක් ක්‍රීඩාවට විශේෂිත වූ ප්‍රදේශ තුළ තෝරාගත් පාසල්හි මෙවැනි වැඩසටහන් සිදුකිරීමට අදහස් කර ඇති අතර, එහි ආරම්භයක් ලෙස මලල ක්‍රීඩාව සඳහා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණය මුලික කරගනිමින් මලල ක්‍රීඩකයන් සඳහා ක්‍රීඩාවත් අධ්‍යාපනයත් පවත්වාගෙන යාම සඳහා හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය තුළ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

සූරියවැව ක්‍රිකට් පාසල ආරම්භ කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සූරියවැව ක්‍රීඩාංගණයේ නිරීක්‍ෂණ චාරිකාවක පෙරේදා (03දා) නිරත විය. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, මෙරට සියලුම ක්‍රීඩාංගණ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගණ බවට පත් කරන බවයි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


"සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකරන විට අපිට මේ සඳහා යම් සැලැස්මක් තිබුණා. නමුත් පසුගිය වසර කිහිපය තුළ මේ ක්‍රීඩාංගණය වගේම අනෙකුත් ක්‍රීඩාංගණත් දැඩි පසුබෑමකට ලක් වුණා. එම නිසා වත්මන් ආණ්ඩුව යටතේ මේ සියලු ක්‍රීඩාංගණ ජාතික ආර්ථිකයට ආදායමක් රැගෙන එන්න පුළුවන් ක්‍රීඩාංගණ බවට පත් කරනාවා. පදක්කම් දිනන එක ලෝක කුසලාන දිනන එකම නෙමෙයි ක්‍රීඩාව කියන්නේ, රටේ සෞඛ්‍ය සම්පන්න සමාජයක්, ක්‍රීඩාශීලී සමාජයකුත් නිර්මාණය කළ යුතුයි.

ඒ වගේම ක්‍රිකට් විතරක් නෙමෙයි කබඩි, බීච් වොලිබෝල්, පාපන්දු වැනි ක්‍රීඩාවල 'එල්.පී.එල්.' ක්‍රිකට් තරඟ ආකෘතියේ තරඟ පවත්වන්නත් අපි මේ වනවිට සාකච්ජා කරලා තියෙනවා" යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්, ගුවන්තොටුපළ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈස්ලි ද සිල්වා, දකුණු පළාත් සම්බන්ධීකාරක ප්‍රසන්න ගලප්පත්ති, සූරියවැව ක්‍රීඩාංගණයේ ප්‍රධාන කළමනාකරු මහේෂ් බෝපගේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.
- නුවන් ජයසේකර -