අපි මේ ගත කරන ඔක්තෝබරය සුවිශේෂී මාසයක් වේ. එයට හේතුව විවිධ කාරණා සඳහා දින හා සති වෙන්කර තිබුණත්, මේ මාසයට පියයුරු පිළිකාවන් වැළකීම වෙනුවෙන් වෙන්කර තිබිමයි. ලංකාවේ සෑම දිනකම පියයුරු පිළිකා රෝගීන් 9-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ වගේම ලංකාවේ පියයුරු පිළිකා රෝගීන් වාර්තා වීම පසුගිය වසර කිහිපයේ ක්‍රමයෙන් වැඩිවී තිබෙනවා. විශේෂයෙන් සෑම කානාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකු ජීවිතයේ යම් දිනකදී පියයුරු පිළිකාවට ගොදුරු විය හැකි බව දක්වනවා.
ඒ අනුව පියයුරක අලුතින් ඇතිවූ ගැටිත්තක්, ගෙඩියක්, තද ගතියක්, ප්‍රමාණයේ හෝ හැඩයේ වෙනසක්, පියයුර මතුපිට සමේ පැහැයේ හෝ ස්වභාවයේ වෙනසක්, පියයුරක කාලයක් තිස්සේ පවතින අසාමාන්‍ය වේදනාවක්, තන පුඩුවේ කිරි නොවන ශ්රාවයක් පිටවීමක් දකින්නට ලැබේ නම් එය පියයුරු පිළිකාවක් විය හැකියි. මෙවන් වෙනසක් දැකගත හැකි නම් සුවනාරී හෝ සුවදිවී සායනයකට, පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්යස්ථානකයට හෝ රජයේ රෝහලකට ගොස් පරික්ෂා කරගත හැකියි. මේ, ස්වයං පියයුරු පරීක්ෂාව නිසාම පියයුරු පිළිකාව කල්තියා හඳුනාගෙන සාර්ථකව රෝගය ජයගත් රටම හඳුනන කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවන්ය.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා කල්තියා යොමු වෙන්න මට හැකි වුණේ මගේ ශරීරය ගැන අවධානය යොමු කළ නිසයි - ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලී
මට වුණේ මොකක්ද කියන කතාව මම අද රටටම කියන්නෙ කැමතියි. මම මගේ ශරීරය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්. සාමාන්‍යයෙන් මම අවුරුද්දකට වරක් මූලික වෛද්‍ය පරීක්ෂණවලට යොමු වෙනවා. මට මගේ එක් පියයුරක පොඩි වෙනස්කමක් දකින්නට ලැබුණා. ඒ අනුව මම මගේ ගෙදර අයට, ඥාතීන්ට කිව්වා. ඔවුන් කිව්වා එය සාමාන්‍ය තත්වයක් කියලා. නමුත් මගේ හිත කිවිවේ එය යම් වෙනසක් කියලයි. ඒ අනුව මම නාරාහේන්පිට පිහිටි පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානයට ගියා. මම නිරෝගීද යන්න හරියටම දැනගන්නයි මම ගියේ. ගිහින් මම එතන හිටපු හෙද සොහොයුරියට මගේ ගැටලුව පැවසුවාම ඇය මාව වෛද්‍යවරයෙකු වෙත යොමු කළා. ඔවුන් මාව පරික්ෂා කරලා ස්කෑන් පරීක්ෂණයකට යොමු කළා.
එවිට මට වෛද්‍යවරයාගේ මුහුණෙන් තේරුණා යම් ගැටලුවක් පවතින බව. ඔවුන් මාව නැවත මැමෝග්රෑම් පරික්ෂණයකට යොමු කළා. එහිදී ඔවුන් මට ඉතා ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යන ලෙස දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ මට තේරුණා යම් ප්‍රශ්නයක් ඇති බව. ඒ අනුව මම කල් නොදා වහාම වෛද්‍යවරයාව හමුවුණා, වෛද්‍යවරයා මාව පරීක්ෂණ කර මහරගම අපේක්ෂා රෝහලට යොමු කළා. මම කාලයකට පෙර පියයුරු පිළිකා මර්දන වැඩසටහනත් එක්ක ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් වැඩකර තිබුණා. ඒ කාලේ මට හමුවුණු වෛද්‍යවරුන් කිහිපදෙනෙකුත් අපේක්ෂා රෝහලේ සේවය කරන බව දැනගත් නිසා මම බය නැතිව අපේක්ෂා රෝහලට ගියා. රෝහලේදී අවශ්‍ය පරිමාණ සිදු කළා. මගේ වෛද්‍ය වාර්තාවල මම පියයුරු පිළිකා රෝගියෙක් බව සදහන් වුණත් මට බයක් තිබුණේ නැහැ. මොකද මට ලොකු විශ්වාසයක් තිබුණා වෛද්‍යවරුන් ගැන.
අපේක්ෂා රෝහල් සියලුම කාර්යමණ්ඩලය රෝගීන්ට ඉතාම හොදින් සලකනවා. මම නිළියක නිසා මට වෙනම සැලකිලි හමුවුණා කියලා කාටහරි හිතෙත්න පුළුවන්. නමුත් මම කියන්න කැමතියි අපේක්ෂා රෝහලට එන හැම රෝගියෙකුටම ඔවුන් සලකන්නේ එකම විදිහටයි. ඔවුන් කිසිම රෝගියෙකුගේ හිත් රිදවන්නේ නැහැ. ඔවුන්ගේ සත්කාර සේවා ගැන මම ඉතාම සතෝෂ වෙනවා. මම අද සන්තෝෂ වෙනවා, මොකද මගේ ශරීරයේ ඇති වූ වෙනස මට හඳුනාගත්න ලැබුණා. මම පිළිකා රෝගියෙක් කියලා කල්තියා හඳුනාගන්න ලැබුණේ ඒ නිසයි. වෛද්‍ය ප්‍රතිකාර සදහා කල් ඇතිව යොමුවෙන්න හමුවුණේ මම මගේ ශරීරය ගැන සැලකිලිමත් වූ නිසයි. ඒ නිසා මම හැම කාන්තාවකටම වගේම හැම පිරිමියෙකුටම කියන්න කැමතියි හැම වෙලාවෙම තමන්ගේ ශරීරය ගැන අවධානයෙන් ඉන්න. පිළිකාව කියන එක දත් බොහොම සාමාන්‍ය රෝගයක් බවට පත්වෙලා. ඒ නිසා මම සියලු දෙනාගෙන් ආදරයෙන් ඉල්ලනවා තමන් ගැන සැලකිලිමත් වෙන්න කියලා. මොකද අපේ දරුවෝ බලාගන්න ඉන්නේ අපි. සියලු වගකීම් අපේ පිට තියෙන්නේ. ඒ නිසා අපි නිරෝගීව ඉන්න අවශ්‍යයි.
සියලුම කාන්තාවගෙන් මම ඉල්ලනවා තමන්ගේ පියයුරු පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන්න කියලා - මාධ්‍යවේදිනී ක්‍රිෂාන්ති විතාරණ
මම මාධ්‍යවේදිනියක ලෙස පියයුරු පිළිකා රෝගය ගැන ලිපි බොහෝමයක් ලියලා තිබෙනවා. නමුත් අද මම කතා කරන්නේ තවත් එක් පියයුරු පිළිකා රෝගියෙකු ලෙසයි. මගේ කතාවෙන් යම් කෙනක් දැනුවත්භාවයක් ලබා ගනීවි කියලා මම හිතනවා. මේ වර්ෂයේ මාර්තු මාසයේ මුල් සතියේදී මගේ එක් පියයුරක ගැටිත්තක් හසුවනවා. මම දැනුවත්ක්වෙලා සිටියා පියයුරු පරික්ෂාව ගැන. ඒ වගේම මගේ පවුලේ පියයුරු පිළිකාවත් එක්ක සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා මම වඩාත් සැලකිලිමත් වුණා. මට මේ ගැටිත්ත අහුවුණාම මම දවස් තුනක් උදේ හවස එය පරික්ෂා කළා. පසුව මම නාරාහේන්පිට පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානයට ගියා. එහේදී මගේ සියලු පරික්ෂාවක් සිදු කළා. පසුව මාව අපේක්ෂා රෝහලට යොමු කළා. එහිදී වහාම සැත්කමක් සිදුකළ යුතු බවට වෛද්‍යවරුන් නිශකළා. ඒ අනුව දින තුනක් හතරක් ඇතුළතදීම කිසිම ප්‍රමාදයකින් තොරව මාව සැත්කමට යොමු කළා. සත්කම කළාට පසු මම විශාල අභියෝගයකට මුහුණ දුන්නා.
ඒ වෙද්දි කෝවිඩ් 19 රෝගය නිසා රටේ හදිසි තත්වයක් ඇතිවී තිබුණා. සැත්කම සිදු කර පසුදිනම අපිව නිවෙස් වෙත යොමු කළා. මොකද කෝවිඩ් වෛරය නිසා රෝගීන්ට රෝහලේ තබා ගැනීම සීමාකර තිබුණා. සැත්කම කරලා මම නිවසේ ඉන්නකොට රෝහලෙන් මට ඇමතුමක් ලබා දී මගේ ප්‍රතිකාරවල මීළග අදියර පිළිබදව දැනුම් දුත්තා, සැත්කමෙන් පසුව කීමෝ තෙරපි ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන්ට දැනුම් දුන්නා. නමුත් ඒ වෙලාවේ මම පොඩ්ඩක් අදිමදි කළා. මොකද මගේ ඥාතීන් කිසිම කෙනෙක් මේ අවස්ථාවේ ලංකාවේ හිටියෙ නැහැ. මමයි, මගේ දියණියයි විතරයි ගෙදර හිටියේ. මම හොදටම දැනගත හිටියා කිමෝ තෙරපි ප්‍රතිකාරවලදී අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවන බව. මේ අවස්ථාවේදී මට විශේෂඥ වෛද්‍යවරයා කතා කරලා කිව්වා සුව කළ හැකි මට්ටමේහි මගේ පිළිකාව තිබෙන්නේ. ඒ නිසා වහාම ප්‍රතිකාර සඳහා පැමිණෙන ලෙසට වෛද්‍යවරයා මට උපදෙස් දුන්නා. ඒ අනුව මම ප්‍රතිකාර සදහා යොමු වුණා.
කෑම බීම ගැනීමේ අපහසුතා ඇති වුණත් අපේ ශරීර ශක්තිය හොදින් පවත්වාගන්නට අවශ්‍ය සියලුම දේ අපි කරන්න අවශ්‍යයි. ඒ අනුව රුධිර මට්ටම යහපත්ව පවත්වාගන්න අවශ්‍ය ආහාර අපි ගත යුතුයි. කෑම බීම ගන්න අපහසු වුණත් කොහොම හරි ආහාර අරගෙන මගේ පැත්තෙන් රෝගය ජයගන්න අවශ්‍ය දේවල් මා විසින් සිදු කළා. මම කාන්තාවන්ට කියන්න ඕන කාන්තාවක් විදිහට අපිටත් දරාගත්න බැරි දේවල් නැහැ. ඒ නිසා මුලින් හදුනාගැනීම තුළින් අපිට පියයුරු පිළිකාව ජයගන්න පුළුවන්. මමත් පියයුරු පිළිකාව ගැන කලින් දැනුවත් වෙලා හිටිය නිසයි ප්‍රතිකාර සඳහා යොමු වුණේ. මේ පිළිකාව මුලින් හඳුනාගැනීම තුළින් මුහුණ දෙන්න තිබෙන අපහසුතා අඩුයි.
මාස හයක් වගේ මම යම් අපහසුතාවලට මුහුණ දුන්නත්, ඉන් අනාගත ප්රතිලාභ වැඩි බව මම දන්නවා. ඒ අනුව මෙම සියලු කාන්තාවන්ගෙන් ඉල්ලනවා පියයුරු පිළිකාව ගැන අවධානය යොමු කරගන්න කියලා. මාසිකව හෝ තමන්ගේ පියයුරුවල ස්වයං පරීක්ෂාවක් කරගන්න එක පුරුද්දක් කරගන්න. කලින් හඳුනාගැනීම තුළින් අපිට මේ පිළිකාව ජයගන්න පුළුවන්. මම මේ වෙලාවේ මහරගම අපේක්ෂා රෝහලට ස්තූතිය පුදකරන්න කැමතියි.
-නදීශානි පතිරණ-
0 Comments