මේ වනවිට ඇමරිකානු ජනපතිවරණය අවසන් අදියරට ආසන්න වෙමින් පවතින අතර අවසන් ප්‍රතිඵල නිකුත්වන්නේ නොවැම්බර් 3 වනදාට පසුය. සමීක්ෂණ අනුව ඊළඟ ජනපතිවරයා ගැන පැහැදිලි තොරතුරු වාර්තාවී තිබේ.

ඇමරිකාවේ ජනපතිවරණ  සමීක්ෂණ බොහෝදුරට නිවැරදි ප්‍රතිඵල පෙන්වන බවට විශ්වාස කෙරෙයි. ඒවායේ සාම්පල නිවැරදි විද්‍යාත්මක පදනමකින් ලබාගන්නා අතරම ප්‍රතිඵල ඉදිරිපත්කිරීම පක්ෂපාතීත්වයකින් තොරව සිදු කිරීමට බොහෝ විට උත්සාහ කෙරේ.

ඇමරිකාන ඡන්ද ක්‍රමය අනුව අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ජනප්‍රිය ඡන්ද ප්‍රතිශතය අනුව නොව ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හිදී දෙපාර්ශවය නියෝජනය කරන පක්ෂ විසින් දිනාගන්නා මන්ත්‍රී ආසන ගණන අනුවයි.


මෙම සමීක්ෂණ අතරින් ප්‍රධාන එකක් වන්නේ  CNN මාධ්‍ය ජාලය පවත්වන ජනමත විමසීමයි.

SSRS ආයතනය විසින් CNN පුවත් සේවය වෙනුවෙන් 2020 ඔක්තෝබර් 20 වැනිදා සිදුකළ මෙම දීප ව්‍යාප්ත සමීක්ෂණයට මුළු රටම ආවරණය වන පරිදි සිදුකර තිබේ.

දීප ව්‍යාප්ත CNN සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව මේ වන විට ජෝ බයිඩන් – ට්‍රම්ප් ඡන්ද අනුපාතය බෙදී යන්නේ 54% – 42% වශයෙනි.

මේ වන විට ඇමරිකානුවන්ගෙන් මිලියන 70කට වඩා කලින්ම ඡන්දය ප්‍රකාශ කර  ඇති අතර ජනමත සමීක්ෂණයකින් එසේ ඡන්ද පළ කළ අය විමසීමේදී එසේ ඡන්දය ප්‍රකාශ කළ අය අතරින් ට්‍රම්ප් – ජෝ බයිඩන් මනාපය බෙදී ගොස් තිබෙන්නේ 64% – බයිඩන් හා 34% – ට්‍රම්ප් ලෙස බව ඔවුන් පවසා ඇත.

ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන අය විමසා සිටි විට 63% – බයිඩන් හා 33% – ට්‍රම්ප් ලෙස ප්‍රකාශ කළ බව සීඑන්එන් වාර්තා කර තිබේ.

කළු ජාතිකයන් අතර පැහැදිලි බෙදී යාමක් දැකගත හැකි බවත් 71% – බයිඩන් හා 24% – ට්‍රම්ප් ලෙස එය වෙනස්වන බවත් සීඑන්එන් වැඩිදුර දක්වා ඇත.



තවත් මාධ්‍ය ජාලයක් වන The Independent සමීක්ෂණයේ ප්‍රතිඵලද මේ වනවිට වාර්තා කර තිබේ.

එහි ප්‍රතිඵල අනුව ද ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩන් ය. ජනාධිපතිවරණයට සතියකට පෙර ඔක්තෝබර් 26-28 දෙදින තුළ සිදුකර ඇති එම සමීක්ෂණයේදී සම්මුඛ සාකච්ඡාවන්ට ලක් කළ 884 දෙනා අතරින් 54%ක් දෙනා පවසා තිබෙන්නේ තමන්ගේ මනාපය ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් බව ය.

41%ක් පමණක් ජනපති ට්‍රම්ප්ට ප්‍රමුඛතාවය ලබා දී තිබේ.

2016 වසරේදී හිලරි ක්ලින්ටන් දිනාගත් සුදු ජාතික ඡන්ද පදනමට වඩා වැඩි ඡන්ද පදනමක් ජෝ බයිඩන් විසින් සතු කර ගෙන සිටින බව දත්ත විශ්ලේෂණයේදී ඔවුන් පෙන්වා දී ඇත.

බයිඩන්ගේ ජනප්‍රියත්වය කළු ජාතිකයන් අතර 2016 ට සාපේක්ෂව 5%කින් තවමත් පහළ අගයක පවතින නමුත්, කළු ජාතිකයන්ගෙන් 80%ක සහයෝගය සමස්තයක් ලෙස ඔහු විසින් දිනාගෙන ඇති බව ද කියැවේ.


RealClearPolitics නමින් සමීක්ෂණ කිහිපයක ප්‍රතිඵල ඒකාබද්ධ කර වාර්තා ඉදිරිපත් කර ඇති සමීක්ෂණ ආයතනය පවසන්නේ බයිඩන් මේ වන විට 7%ක් පමණ ඉදිරියෙන් සිටින බවයි.