රුපියල් කෝටි 06ක් පමණ වටිනාකමකින් යුතු පෞරාණික වාලම්පුරි 02ක් ළඟ තබා ගෙන අලෙවි කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිවුදෙනා ඊයේ (01දා) ගාල්ල වැඩබලන
මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා වෙත ඉදිරිපත් කිරීමේන් පසු ලබන 06වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, හැටන්, නුවරඑළිය, බුලත්සිංහල හා වැලිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන ලෝකනාදනම් විජේසුන්දරම්, විජේසිංහ කොඩිතුවක්කුගේ ප්‍රේමලාල් ඉන්දික, ජයප්රකාශනම් ප්‍රදීපන්, හෙට්ටිආරච්චිගේ ඉෂාන් සංජිව නමැති සැකකරුවෝ සිවුදෙනෙකි. එසේම අත්අඩංගුවට ගත් පිරිස අතර විශ්‍රාමික පාසල් ගුරුවරයෙකු හා සේවය අත්හැර ගොස් සිටින ගුවන් හමුදා භටයෙකුද සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර සඳහන් කරයි.
කළුතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් සිවුදෙනා ඉමදූව, කෝදාගොඩ ප්‍රදේශයේදී ඉමදූව පොලීසියේද සහයෝගය ඇතිව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය. සැකකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාරය කටයුතු කරමින් රුපියල් කෝටි 06ක් පමණ වටිනාකමකින් යුතු ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් අලෙවි කිරීමට තැත් කිර්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු විසින් උපයා දූතයෙකු වශයෙන් පෙනී සිටිමින් මෙම වැටලීම සිදුකර ඇති අතර, ඉමදූව, කෝදාගොඩ ප්‍රදේශයේදී මෙම ගනුදෙනුව සිදුකිරීම සම්බන්ධයෙන් කතා බස් කර ගෙන තිබේ. ඒ අනුව සැකකරුවන් සිවුදෙනා වාලම්පුරි රැගෙන ඉමදූව, කෝදාගොඩ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන 04ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
-ජිනේෂ් නානායක්කාර-