පානදුර ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය තුළ දී නීතිඥ අරුණ දීපාල් මහතාට අයත් ජංගම දුරකතන දෙකක් සොරාගත් 60 හැවිරිදි කාන්තාවක නවීන තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනයෙන් පැය කීපයක් තුළ දී පෙරේදා (7) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පානදුර දකුණු පොලීසිය කියයි.  රාජකාරි කටයුත්තක් සඳහා නීතිඥවරයා කාර්යාලයට ගොස් කවුන්ටරය මත ජංගම දුරකතන මඳක තබා ලිපි ලේඛනයක් භාරදීම සඳහා මදකට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නැවත පැමිණ බැලීමේ දී එම දුරකතන දෙක එහි නොමැති බව දැනගෙන තිබූ බව පොලීසිය කියයි.  මද වේලාවක් එය සොයා බලා අනතුරුව පානදුර පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එම එක් ජංගම දුරකතනයක් විසන්ධි කිරීම සඳහා ඇඟිලි සලකුණු තැබිය යුතු බැවින් ඒ වන විටත් එය විසන්ධි කිරීමටත් මෙම සැකකාරිය අපොහොසත් වී තිබීම හේතුවෙන් ඇමතුමක් ගත් විට එය  ක්‍රියාත්මක තත්වයේ තිබූ බව පොලිසිය කියයි.

අදාළ දුරකථන අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය ඉංගිරිය, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ  තිබෙන බවට කුලුනු වාර්තා ඔස්සේ පෙන්නුම් කිරීම හේතුවෙන් පොලිස් නිලධාරින් ඉඩම්  ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ගොස් හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයෙන් යම් අයෙකු සේවාවක් ලබාගැනීමට පැමිණියේදැයි සොයා එහි ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී මෙම සැකකාරිය පදිංචි නිවසේ ලිපිනය හමුවූ බව පොලිස්  නිලධාරියා කීය.

එම තොරතුරු අනුව පානඳුර පොලීසියේ  නිලධාරීන්, බුද්ධි නිලධාරින් සමග එම නිවස  සොයා ගොස් එම සැකකාරියගෙන් ඒ පිළිබඳ  විමසීමේ දී, “අනේ පිස්සුද මහත්තයෝ, මේ මම හතර පෝයට සිල් ගත්නවා. අනුන්ගේ දේවල් මේ වයසක මම මොකටද? ඇරත් හෑන් ෆෝන් එකක්  මම මොනා කරන්නද. මොකා එක්ක කතා  කරත්තද?" යැයි ඇඟට පතට නොදැනී කියාගෙන ගිය බව පොලිස් නිලධාරියා පැවැසීය.

ඇයගේ  සියලු වචනවලට සාවධානව සවන් දීගෙන සිටි  පොලිස් නිලධාරියෙකු “මේ අම්මේ ඔය බණ අපිට කියන්න එක්ක එපා .පෝන් එක අපිට දෙනවද, අපි  නැත්නම් හොයාගන්න ද" තරමක් සැරෙන්ම  විමසීමේදී, “මහත්තයෝ මම පෝන් දෙකක් තිබිලා ගත්තා තමයි, ඒක හෙට උදේ පානදුර පොලිසියටම ගිහිල්ලා දෙන්නයි හිටියේ. මේ මහත්තයලා දැන් ගෙදර ආවා නිසා මම ඔය මහත්වරුන්ටම පෝන් 2 දෙන්නම්. අයිති මහත්තයට දෙන්න මහත්තයෝ" යැයි පැවසූ කාන්තාව නිවස තුළට ගොස් ජංගම දුරකථන දෙක පොලිස් නිලධාරිනියක අතට පත් කිරීමත් සමගම ඇය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ආ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය."

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වැනිදා දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා ඇය එදින හඳුනාගැනීමේ  පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කළේය පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-