මාතලේ මහ රෝහලේ  මනෝ වෛද්‍ය  සායන කාමරයේ වෛද්‍යවරයාගේ රබර් සීල් මුද්‍රාව සොරකම්
කළ පුද්ගලයන් තිදෙනකු  මාතලේ පොලිසියේ  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.එම්.
තිලකවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇත. පසුගියදා (6දා) රාත්‍රි මෙම පුද්ගලයන්  ත්‍රීවීල් රථයකින් රෝගී පුද්ගලයෙක් රෝහලේ නතර කරන බවට
වෛද්‍යවරයාට පෙන්වා ලියාපදිංචි කර වාට්ටුවට යන ආකාරයෙන් ගොස්  සායන ගොඩනැඟිල්ලට ඇතුළු වී
සායනයේ අසල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා ලේන්සුවකින් වසා 
වෙනත් අතකට කැමරාව හරවා දොර කඩා රබර් සීල් මුද්‍රා  සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.  

මෙම සිදුවීමත් සමඟ 7 වැනි දින  වෛද්‍යවරයා සායනයට එන විට  මුද්‍රාව නොමැති බව පෙනී ගිය
හෙයින් පසු විපරම් කිරීමේදී  කැමරා කාච පරීක්ෂා කිරීමේදී සිද්ධිය අනාවරණය විමත් සමඟ වෛද්‍යවරයා
විසින් මාතලේ  මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.  

ඉන්පසු අපරාධ අංශයේ විශේෂ දැනුම ඇති පොලිස් නිලධාරීන් පිරිස සී.සී.ටී.වී. කැමරා සෝදිසි කරමින්
 පරීක්ෂණ ආරම්භ කිරීමේදී මෙම පුද්ගලයන් කුඩුවලට ඇබැහි වූවන් බවට අනාවරණය කරගෙන ඇත. මෙම
වෙද්‍යවරයාගේ රබර් සීල් මුද්‍රාව සොරකම් කිරීමට හේතුව පරීක්ෂා කිරීමේදී මත්පෙති මිලදී ගන්නට හා
වෙනත් රහසිගත දේවල් කිරීමට මෙම මුද්‍රාව උපයෝගී කරගත හැකි බවටත් වෙළෙඳපොළේ ඇති මත්පෙති
ගැනීමට සහ එම මත්පෙති රුපියල් 500ක් වැනි මුදලට අලෙවි කිරීමට හැකියාව පවතින බවට අනාවරණය වී
ඇත.  

මෙම පුද්ගලයන් තිදෙනා අධික ලෙස මත්කුඩුවලට ඇබැහි වූවන් බැවින් රාත්‍රි කාලයේ ආරක්ෂක අංශවලටත්
හොරෙන් සායනයට යෑමත් 
සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී රෝහල්   පරිපාලනයේ  සහායක්
නොදීම ගැනද පොලිසිය මවිතය පළ කර ඇත. මොවුන් ගමන් කළ ත්‍රීවීල් රථයද අත්අඩංගුවට ගෙන ඇති
අතර සැකකරුවන් ළඟ තිබී එක් අයකු ළඟ හෙරොයින් මිලිග්‍රෑම් 1,600ක් සහ දෙවැනි පුද්ගලයා සතුව
මිලිග්‍රෑම් 1,450ක් තිබී ඇත. සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  

මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක  මහතාගේ සහ දිස්ත්‍රික් 01
භාර පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක
ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ  අපරාධ අංශයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක
එස්.පී.එම්. තිලකවර්ධන මහතාගේ මෙහෙය වීම මත උප පොලිස් පරීක්ෂකවරුන් වන ඩබ්.ජී. ඒකනායක,
 හෙට්ටිආරච්චි  සහ බණ්ඩාර යන අය සහ සැරයන් බණ්ඩාරනායක (6922), දිමුතු (35809), ලසන්ත
 (57197) යන අය වැටලීමට සහභාගි වූහ.   

මාතලේ - හේවා පී. කරුණාරත්න, උකුවෙල - ප්‍රියන්ත පොල්වත්ත