බස්නාහිර පළාත දින 11ක් පමණක් වසා තබා විවෘත කළහොත් වසා නොතිබුණ හා සමාන බවත්,කොවිඩ්  වයිරසයේ පැතිරීම පාලනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදය අනුව අවම වශයෙන් දින 14ක් වසා තැබිය යුතු බවත් සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.


වයිරසයේ ව්‍යාප්තිය අනුව එය පාලනය කිරීම සඳහා විද්‍යාත්මකව නම් දින 14, දින 21 හෝ දින 28ක් ආදි වශයෙන් ප්‍රදේශයක් වසා තැබිම කළ යුතු බව කී මන්ත්‍රීවරයා  ෙවනත් රටවල් හෝ ප්‍රදේශ වසා දමන්නේ ඒ ආකාරයෙන් බව ද සඳහන් කළේය.  එසේ නොකර බස්නාහිර පළාත දිනට 11කින් විවෘත කළහොත් ලැබෙන ප්‍රතිඵලය වන්නේ ආර්ථිකයට වූ බරපතළ හානිය පමණක් යැයි ද පාඨලී චම්පික රණවක මහතා කීවේය.


වසංගත විද්‍යාඥයින් හා වෘත්තීයවේදීන්ගේ අදහස් යෝජනා මත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි කාර්යභාරය පිළිබඳව වන ලියවිල්ලක් ප්‍රකාශයට පත්කරමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවැසීය.  එක් දිනක් තුළ කොවිඩ් මරණ පහක් වාරිතා වීම හා ඉන් තුනක්ම තිවෙස්වල සිදු වූ මරණවීම කනගාටුදායක තත්වයක් බව කී මන්ත්‍රීවරයා කොවිඩ් රෝගීන් අසාධ්‍ය තත්වයට පත් වූ විට මිය යා යුතුව තිබුණේ රෝහලේ මිස නිවෙස්වල නොවන බව ද කීවේය.


කූට ව්‍යාපාරිකයින් කොවිඩ්  වසංගතයට මුවා වී කොවිඩ් පරික්‍ෂණ සදහා පරික්‍ෂණ කට්ටල චීනයෙන් ගෙන්වීම ආදිය සිදුකරන බව කී ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින්  මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවා ද මේවා නිසි ප්‍රමිතියකින් යුතු ද සෞඛ්‍යාරක්ෂිත ද ආදී ගැටලු පවතින බව ද පැවැසීය. මේ වසංගත තත්වයට සාර්ථකව මුහුණදීම සදහා ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක ඇතුළු දේශපාලන නායකයන්, ක්‍රියාකාරීන් සහ  විද්‍යා විශේෂඥයන්ගේ එකමුතුවෙන් සමාජ සම්මුතියක් නිර්මාණය කළ යුතු බව ද චම්පික රණවක මහතා කීවේය.


 -ඩයනා උදයගනී-