දාහතර හැවිරිදි සිය බාල වයස්කාර දියණිය රෝහලකට රැගෙන ගොස් තාවකාලික උපත් පාලනයකට ලක්කර 22 හැවිරිදි තරුණයකුට විවාහ කරදීමට උත්සාහ කළ බව කියන එම බාල වයස්කාරියගේ මව අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය කියයි. 

බාල වයස්කාර දැරිය තාවකාලික උපත් පාලනයකට ලක්කිරීමෙන් පසුව ඇය සමඟ අඹු සැමියන් ලෙස ජීවත් වූ බව කියන 22 හැවිරිදි තරුණයා ද මේ සමඟ අත්අඩංගුවට ගත් බව උහන පොලිසියේ නිලධාරියෙක් ඊයේ (1) පැවැසිය.

බාල වයස්කාර දැරියක් දූෂණය කළ බව කියමින් එම තරුණයා ද

ඊට ආධාර අනුබල දුන් බව කියමින් දැරියගේ 35 හැවිරිදි මව ද මෙසේ උහන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

බාල වයස්කාර දැරියගේ පියා සිය දියණිය බිරිඳ විසින් විවාහ කර දීමට යන බව පවසා උහන පොලිසියට පැමිණිල්ලක් කර ඇත. උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත පරික්ෂණ පවත්වා හෙළි කරගත් තොරතුරු මත සැකකාර කාන්තාව සහ තරුණයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි මෙම සිසුවියගේ ජංගම දුරකතනයට ලැබුණු මිස් කෝල් එකකින් හඳුනාගත් තණමල්විල ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.  මේ බව ඇය මවට පැවැසීමෙන් පසුව එම තරුණයා රැකියාවක් කරන බව දැනගෙන ඔහුට නිවසට එන ලෙස පවසා තිබේ.

මවගේ ද අනුදැනුම මත දැරියගේ පෙම්වතා බව කියන තරුණයා තණමල්විල සිට ඇයගේ නිවසට පැමිණ ලැගුම්ගෙන ඇත.

තරුණයා නිවසට පැමිණීමට පෙර මව සිය බාල වයස්කාර දියණිය රෝහලකට රැගෙන ගොස් එහිදී සුළු සැත්කමක් මගින් ඇයගේ එක් අතකට උපත් පාලන පෙත්තක් ඇතුළත් කරගෙන පැමිණ තිබේ. පසුව දෙදෙනා එකට ජීවත්වීමට පටන්ගෙන ඇති බව කියති. බාල වයස්කාර දැරියගෙන් හා ඇයගේ මවගෙන් ප්‍රශ්න කිරිමේදී මේ තොරතුරු සියල්ල

අනාවරණය විණි යැයි ද එම පොලිස් නිලධාරියා කීය. 

දැරියගේ පෙම්වතා බව කියන තරුණයා ඇයගේ මවගේ කීමට එම ගෙවත්තෙම කටුමැටි ගසා පොල් අතු සෙවිලි කර නිවසක් තැනීමට පටන්ගෙන ඇත.

නිවස තනා අවසන් වී ඇය (දැරිය) එම නිවසට කැඳවාගෙන යාමට ඔහු (තරුණයා)  සුදානමින් සිට ඇති බව පොලිසිය කීය. තරුණයාට දියණිය සමඟ දීග කෑමට ඉඩ නොදෙන ලෙසත් එම තරුණයාව නිවසින් පන්නා දමන ලෙසත් දිගින් දිගටම පවසා ඇතත් එම ඉල්ලීම් ගණන් තොගත් නිසා පියා මේ බව පොලිසියට පැමිණිලි කර ඇත. සිය බාල වයස්කාර දියණියට බිරිඳගේ මැදිහත්වීම මත තාවකාලික උපත් පාලනයක් සිදුකර තිබෙන බව ඔහු (සැමියා) දැනගෙන ඇත්තේ ද පොලිසිය ඒ බව කීමෙන් පසුව බව පැවසෙයි.

 - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -