නිරෝධායන නීති කඩකරමින්   වෙන්නප්පුව, ලුණුවිල,  බණ්ඩිරිප්පුව හා ගාලවත්ත යන ප්‍රදේශවල  නිවෙස්
දෙකක මුදලට බූරු ගැසූ පුද්ගලයන් 16 දෙනකු  වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ නිලධාරීහු  කළ
වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබූහ.

බූරු පොළවල්වල  සුදු ක්‍රීඩාවේ  යෙදී සිටි  පුද්ගලයන්    ලුණුවිල, බණ්ඩිරිප්පුව හා ගාලවත්ත හා ඒ
අවට පදිංචි අවුරුදු 20ත් 30ත් අතර වයසේ පිරිසක් බව පොලිසිය කියයි.


පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව මෙම බූරු පොළවල්  වැටලූ අවස්ථාවේ මුදලට බුරු
ගසමින් සිටි පුද්ගලයන් කිහිපදෙනකු පලා ගොස් තිබිණි.  පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් 16 දෙනකු
අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිරෝධාන නීතිය යටතේ පොලිසියේ රඳවා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ට
තරයේ  අවවාද කර පොලිස් ඇපමත මුදාහැර ඇති අතර පසු දිනක මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස්
පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වය මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්
පරීක්ෂක රනුක විජේසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම් කළහ.


වෙන්නප්පුව - ඇම්.ඩී. රවීන්ද්‍ර