බස් රථ සේවකයන් කොවිඩ්-19න් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු නොකිරීම නිසා මේ මස 18 වැනිදා සේවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව බස් රියැදුරු හා කොන්දොස්තරවරු නියෝජනය කරන ලංකා පෞද්ගලික ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.


මගී බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන්ට ආරක්ෂිත ඇඳුමක් හා අත් ආවරණ, මුඛ ආවරණ ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට පසුගිය මස 04 වැනිදා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී 9න් හා ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලා සිටි බවද එම සංගමයේ සභාපති කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.

එහෙත් මෙතෙක් එම ඉල්ලීම්වලට විසඳුමක් ලබාදීමට මේ ආයතන දහයම මෙතෙක් කටයුතු කර නොමැති බවත්, ඉදිරි දින හත තුළ අදාළ වැඩපිළිවෙළ සකස් නොකළහොත් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත් ඔහු පවසා සිටියේය.

බස් රථ සේවකයන් තම රාජකාරී කටයුතු කිරීමේදී දෛනිකව විශාල පිරිසක් සමඟ කටයුතු කරන බවත්, මීට අමතරව කොන්දොස්තරවරුන් මුදල් පරිහරණ කටයුතු සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා කෝවිඩ්-19 තත්වයෙන් බස් රථ සේවකයන් ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එය ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා මෙම ආයතන 10 බස් හිමියන්ගෙන් මාසිකව හා වාර්ෂිකව අය කරගන්නා අතිවිශාල මුදල් ප්‍රමාණයෙන් යම් මුදලක් වැය කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.


- ඉන්දික හේවාවිතාරණ -