කුරුණෑගල නගරයේ මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකින් පමණක් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හදුනාගෙන ඇති බව වාර්තා වේ.  ප්ලාස්ටික් තොග භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ මෙම ව්‍යාපාරික ස්ථානයේ සේවකයන් 17 දෙනකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයත් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. මොවුන්ගෙන් 14 දෙනකු අකුරණ පදිංචිකරුවන් වන අතර අනෙක් අය කටුගස්තොට කුඩුගල,
කුරුණෑගල  තෝරයාය, ගාල්ලේවත්ත සහ නිකවැරටිය පල්ලියවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.  මෙම ව්‍යාපාරික ස්ථානයේ සේවකයගෙන් බහුතරයක් දෙනා  අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙම ආසාදිතයන්ගෙන් දෙදෙනකු කුරුණෑගල ප්‍රදේශයේ තෝරයායේ ආසාදිත සේවකයාගේ බිරිඳ සහ දියණිය බවට හඳුනාගෙන ඇත.


මෙම ව්‍යාපාරික ස්ථානය ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයට සහ තොගයක් වශයෙන් අලෙවි කිරීම සම්බන්ධනේ මුළු දිවයිනෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන අතර එම ස්ථානයෙන් භාණ්ඩ මිලදී ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණෙන බැවින් එම ස්ථානයෙන් ආසාදිතයන් වාර්තා වීම ඉතාම අවදානම් තත්වයක් බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.


එම ව්‍යාපාරික ස්ථානයේ සේවකයන් පනහකට අධික පිරිසක් සේවය කරන අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරිමෙන් පසුව නොදන්වාම කුරුණෑගල සිට තම ගම්බිම් බලා ගොස් ඇතැයි ද වාර්තා වේ.  එම හේතුවෙන් ඔවුන් පදිංචි ප්‍රදේශ ද කොරෝනා වසංගත තත්වයට ගොදුරු වීමේ අවදානමක් මතුව ඇතැයි හෙතෙම කීවේය. එම ව්‍යාපාරික ස්ථානයේ නොසිට බැහැර ගොස් සිටින සිය සේවකයන් සම්බන්ධ තොරතුරු ඔවුන් ස්ථිරවම පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බව ද තුෂාර සංජීව මහතා පැවැසීය.ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි ව්‍යාපාරික ස්ථාන තවත් තුනක  සේවකයන් තිදෙනකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බව ද ඔහු කීවේය.