බූස්ස බන්ධනාගාරයේ දී කොරෝනා ආසාදනය වී ඇති සැකකරුවකු ඇප ලබා අධිකරණයට පැමිණීම නිසා ලබන සිකුරාදා (20) දක්වා දින තුනක් ගාල්ලේ සියලුම අධිකරණවල නඩු කටයුතු නොපැවැත්වීමට ඊයේ (17) ඒකමතිකව තීරණය කළ බව ගාල්ල නීතිඥ සංගමයේ ලේකම් සමිත් ගාල්ලගේ මහතා පැවසීය.

මේ අනුව ගාල්ල මහාධිකරණය, දිසා අධිකරණ තුන, සිවිල් අභියාචනාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය,
අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය සහ කම්කරු විනිශ්චයාධිකාරය ඇතුළු සියලුම අධිකරණවල නඩු කටයුතු පැවැත්වීම නතර කර ඇත.

මෙම දිනවලට නියමිත නඩු කැඳවන ඉදිරි දිනය දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරනු ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම වැනි හදිසි නඩු කටයුතු නිවාඩු දිනවල සිදු කෙරෙන ආකාරයට මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන බවත් කැඳවීම් නඩු සහ විභාග නඩු නොපැවින්වීමට තීරණය කළ බවත් නීතිඥ සමිත් ගාල්ලගේ මහතා පැවසීය.

බූස්ස බන්ධනාගාරයේ සිටි යක්කලමුල්ල ප්‍රදේශයේ සැකකරුවෙකු ඉකුත් 11 වැනි දින ඇප ලබා මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බවත් බන්ධනාගාරයේ දී කරන ලද පී.සී.ආර්. පරික්ෂණය අනුව ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවත් තහවුරු වීම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විනිසුරුවරුන් ද නීතිඥ සංගමයේ නිලධාරිහු ද සහභාගී වූහ.

 - ඩී.ජී. සුගතපාල -