පූගොඩ පොලිස් වසමේ ජර්මන්වත්ත ප්‍රදේශයේ පාළු නිවසක වහලයේ එල්ලෙමින් තිබූ තරුණ මළ සිරුරු දෙකක් ඊයේ (5) පෙරවරුවේදී සොයාගත් බව පූගොඩ පොලිසිය කියයි. ජර්මන්වත්ත ප්‍රදේශයේ අසල්වැසි නිවාස දෙකක පදිංචි වයස අවුරුදු 21ක තරුණයකුගේ හා එම ගමෙහිම පදිංචි 16  හැවිරිදි සිසුවියකගේ සිරුරු මෙලෙස
සොයාගෙන තිබිණි. ඔවුන් දෙදෙනා කලක සිට පෙම් සබඳතාවක් පවත්වා ඇති බවත් එම සම්බන්ධයට පවුල් දෙකෙහි වැඩිහිටියන් අකැමැති වූ බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.


සිද්ධිය ඉකුත් 4 වැනිදා සිදුවී ඇති අතර එම සිසුවිය පූගොඩ ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව ද පැවැසේ.  සිද්ධිය වූ දා දහවල් දැරිය ජංගම දුරකතනය චාර්ජ් කරගැනීමට යන බව ප්‍රකාශ කොට නිවෙසින් ගියත් සවස් වනතුරුම නොපැමිණිම නිසා සොයා බැලීමේදී පාළු නිවෙසක කඹයකින් එල්ලී සිටියදී හමු වූ බව දැරියගේ මව පොලිසියට ප්‍රකාශ කොට ඇත.  


මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරිමට නියමිතව තිබිණ.මෘත ශරිර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය වතුපිටිවල රෝහලේදී ඊයේ (5) සිදු කිරිමට නියමිතව තිබුණි. පූගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර, උපපොලිස් පරික්ෂක ආටිගල යන මහත්වරු පරික්‍ෂණ සිදු කරති.


 -උපාලි රණවිර-