පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් පිස්තෝලයක්ද අතැතිව ගොස් තම බාලවයස්කාර පුතුන් තිදෙනා සමඟ
නිදාගෙන සිටි තිදරු මවක  කටඋත්තරයක් ලබාගැනීමට බව පවසා  ඇළක් අසලට රැගෙන ගොස් බරපතළ
ලෙස දූෂණය කර ඇය සතුව තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා
ලබා සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ මාතලේ පළාත් බද මහාධිකරණ විනිසුරු
ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඔහුට වසර විසි දෙකක (22) බරපතළ වැඩ සහිත සිර දඬුවමක්
ඊයේ 11 දා නියම කළේය.


ඒ අනුව පැමිණිලිකාර කාන්තාව සතුව තිබූ මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකෑමේ වරදට ඔහුට වසර 7ක
 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 10,000ක දඩ
මුදලක් ගෙවන ලෙසටද නියෝග කළේ්ය. එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරු තවත් මාස 6 ක සිර
දඬුවමකටද යටත් කෙරිණි.

කාන්තාව දූෂණය කිරීමේ වරදට විත්තිකරුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ
මහාධිකරණ විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා ඊට අමතරව පැමිණිලිකාර කාන්තාවට මුදලින් රුපියල් ලක්ෂ 3ක
වන්දියක් ගෙවන ලෙසටද නියෝග කරනු ලැබීය. එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් තවත් වසර
දෙකක සිර දඬුවමක්ද ඔහුට නියම කෙරිණි. ඊටද අමතරව රුපියල් 25,000ක දඩ මුදලක්  ගෙවන ලෙසටද
විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් ඔහු තවත් මාස 6ක සිර දඬුවමකටද යටත් කෙරිණි.

මෙසේ දඬුවම් නියම වූයේ  මාතලේ කලුදෑවල පදිංචිකරුවකුටය. 2005 වසරේ ජුනි මස 4 වැනි දින හෝ
ඊට ආසන්න දිනයක උකුවෙල උකුවෙලවත්තදී තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ එක්ව රංචු ගැසී කාන්තාවක
බරපතළ ලෙස දූෂණය කර ඇය සතුව තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ බවට නීතිපතිවරයා විසින් මොහු
ඇතුළු තිදෙනකුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි. අනෙක් දෙදෙනා මුල්
අවස්ථාවේම අධිකරණය හමුවේ වරද පිළිගත් පසුව ඔවුනට මාතලේ  මහාධිකරණය මඟින් වසර 12 බැගින්
වෙන් වෙන් වශයෙන් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබිණි.

ඊයේ (11දා) මෙසේ දඬුවම් නියම වූ විත්තිකරු තමන්ට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනාවන්ට
නිවැරදිකරු බව පැවැසීම නිසා නඩුව විභාගයට ගෙන මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට
බරපතළ සිර දඬුුවම් නියම කෙරිණි.

පොලිස් නිලධාරීන් ලෙස වංචනිකව පෙනී සිටිමින් විත්තිකරුවන් පිස්තෝලයක්ද රැගෙන පැමිණිලිකාර කාන්තාවගේ

නිවෙසට ජනේලයකින් රාත්‍රි කාලයේ ඇතුළු වී  ඇය බිය ගන්වා කටඋත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව
පවසා ඇය නිවෙසින් එළියට ගෙන මඳ දුරක් රැගෙන ගොස් ඇළක් අසලදී රංචු ගැසී  වරින් වර  බරපතළ
ලෙස දූෂණය කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.

විත්තිකරුවන් මෙම අපරාධය සිදු කරන අවස්ථාවේ පැමිණිලිකාර කාන්තාව වයස අවුරුදු 5 සහ 6-10
වියෙහි පසුවන තම පුතුන් තිදෙනා සමඟ නිවෙසේ නිදා ගෙන සිට ඇති බවත් එම දරුවන්ද තනි කර දමා
විත්තිකරුවන් මධ්‍යම රාත්‍රියේ මෙම තිදරු මව රැගෙන ගොස්  

දූෂණය කර ඇති බවත්  අධිකරණ නඩු විභාගයේදී කියැවිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල් පෙරේරා මහතා සමඟ මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස්
පරික්ෂක චානක ද සිල්වා මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරු
වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සමඟ නීතිඥ සාරංගිකා මොරේමඩ මහත්මිය පෙනී
සිටියාය. මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර
වැඩිදුර විභාගය සඳහා මාතලේ මහාධිකරණයට යොමු කර තිබිණ

අනුරාධපුර - ආනන්ද කරුණාදාස, උකුවෙල- ප්‍රියන්ත පොල්වත්ත