ඓතිහාසික දීඝවාපි දාගැබේ දකුණු පස වාහල්කඩ කැණීමේදී හමුවූ ශෛලමය මංජුසාවේ තිබි රන් කරඬු හතරක් සහ පළිගු කරඩුවක් සොයා ගත් බව පුරාවිද්‍යුත් දෙපාර්තමේන්තූවේ පර්යේෂණ අංශයේ නිලධාරීහු පවසති. රන් කරඩු හතරක් එකම මංජුසාවක තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පැවැසීය.  එම කරඩු හතරේ රන් පත් ඉරුවලින් සකසන ලද කුඩා මංජුසා  හයක ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබී ඇති බවත් රන් කරඩු තුළ අලංකාර ආභරණ කොටස් බවට සැක කළ හැකි පළිගු දෙකක්ද දක්නට ලැබුණු බවත් ඔහු කීවේය.  වෙනත් කිසිදු කරඩුවක මෙපරිදි පළිගු දක්නට නොලැබුණු බවත් මෙය විශේෂයෙන් හඳුනාගත් අවස්ථාවක් බවත්
පුරාවිද්‍යා නිලධාරීහු සඳහන් කළහ.නිදන් හොරුන් විසින් විනාශ කරනු ලැබූ ස්ථානයන්ද දිසවාපි දාගැබේ දකුණු වාහල්කඩේ හඳුනා ගැනීමට හැකි විය. ඒ අනුව එම ස්ථානය කැණීම් භාර නිලධාරි සේනක චන්ද්‍රකුමාර මහතා ඇතුළු පුරාවිද්‍යා කැණීම් නිලධාරීන් විසින් පරීක්ෂා කළ අතර එහි කළුගලින් සැකසූ ආවරණයක් යොදා ඇති බව දැක ගැනීමට හැකිවිය.


දීඝවාපි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහඔය සෝභිත හිමියගේත්, අම්පාර දිසාපති ඩී.එල්.එම්. බණ්ඩාරනායක මහතාගේත් පරික්ෂාව යටතේ එම ස්ථානයේ තවදුරටත් කැණීම් සිදු කෙරිණි. එහිදී අගල් 18 ක් උසින් යුත් ශෛලමය මජුසාවක්  ඉකුත් 18 වැනිදා සොයා ගැනීමට හැකිවිය. මෙහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක  මහතා පැවසුවේ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට වසර තුනක පමණ කාලයක් ගතවන බවත් ඒ කාලය තුළ පුරාවිද්‍යා වටිනාකමක් ඇති මෙම මංජුසාව සුරක්ෂිත කිරීමටත් එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම සොයා බැලීම සඳහා මංජුසාව පුරාවිද්‍යා නිලධාරින් එම වාහල්කඩින් අම්පාර දිසා ලේකම් කාර්යාලයට ගෙන යන බවත්ය.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර සංරක්ෂණ අධ්‍යක්ෂ ගීතා කුරුප්පුආරච්චි, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි ජනනී සෙනෙවිරත්න, දීඝවාපි කැණීම් භාර නිලධාරී සේනක චන්ද්‍රකුමාර, කැණීම් භාර නිලධාරිනී අනුරාධා ප්‍රියදර්ශනී යන පුරාවිද්‍යා නිලධාරීහු අර දිසා ලේකම් කාර්යාලයේදී මෙම පරික්කව සිදු කළහ.


පසුගිය 23 වැනිදා මෙම ශෛලමය මංජුසාව නියමිත නිරීක්ෂණ මත අම්පාර දිසා ලේකම් කාර්යාලයේදී පරීක්ෂා කිරීම් ආරම්භ  කෙරිණි. අම්පාර දිසාපති ඩී.එල්.එම්. බණ්ඩාරනායක, අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එස්.ඒ.ජී. ප්‍රියන්ත මහත්වරුන් සහ  කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මංජුසාව විවර කෙරිණි.
මෙම අවස්ථාවට වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාද එක්විය.  24 වැනිදා උදේ ශෛලමය මංජුසාවෙන් රන් කරඬු පිටතට ගැනිණි. පැය 12 ක පමණ කාලයක් ඒ සඳහා කැප කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ට සිදුවිය. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ලේකම් තුසිත පී.  වනිගසිංහ, අර දිසා ලේකම් ඩී.එල්.එම්. බණ්ඩාරනායක, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති නිලන්ත, නැගෙනහිර ආරක්ෂක බල සේනාධිපති මේජර් ජනරාල් ගමගේ, අම්පාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න, අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, ශ්‍රී ලංකා යුද  හමුදාවේ 24 වැනි බල සේනාංකාධිපති මේජර් ජනරාල් වීරක්කොඩි යන මහත්වරු එක්ව සිටියහ.


රත්රන් කරඩු හතරක වැඩසිටි ධාතුන් වහන්සේලා හයනම  සඳහා මෙම පරීක්ෂණය අවසානයේදී බෞද්ධ වත් පිළිවෙත්වලට අනුව වතාවත් ඉටු කෙරිණි. එම අවස්ථාවට ගිරාඹේ මංගල, උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාවේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවූ අතර අර බුද්ධංගල ආරණ්‍ය සේනාංසනාධිපති දීඝවාපියේ සුසීම  හිමියන් ඇතුළු හිමිවරු පිරිසක්ද එක්ව සිටියහ.  ධාතූන් වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා දීඝවාපි රජමහා විහාරස්ථානයේ පහසුකම් සපයන බවත් ඒ සඳහා දැනට පවතින කොරෝනා තත්ත්වය මත තීරණ ගැනීමට සිදුවන බවත් දිසාපතිවරයා පැවසීය. එතෙක් අම්පාර දිසා ලේකම් කාර්යාලයේ විශේෂ කුටියක මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර නිසි පරිදි පූජා කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබේ.


 -කුමාර සී. ලියනආරච්චි-