කළුතර මහාධිකරණයේ භාෂා පරිවර්තකවරිය කොරෝනා පළමු පෙළ ආසාදිතයකු ලෙස නිරෝධායනයට ලක් කිරීමත් සමග කළුතර මහාධිකරණ විනිසුරුවරයා ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ පනස්දෙනකු නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මීට සමගාමීව කළුතර අධිකරණ සංකීර්ණයේ නීති පුස්තකාලය ද අගුලු දමා වසා දමා ඇත. මේ සඳහා සියලු නඩු සඳහා දින ලබාදීම හා ඒකපාර්ශ්වික විභාග සඳහා නියෝග කිරීම හෝ නඩු නිෂ්ප්‍රභ කිරීම නොකරන ලෙස කළුතර නීතිඥ සංගමය විනිසුරුවරුන්ගෙන් ඉල්ලා ඇත. ඉකුත් 13 වැනිදා කළුතර නීතිඥ සංගමයේ කමිටු රැස්වීමේදී ගන්නා ලද මෙම තීරණය ඇතුළත් නිවේදනය එහි සභාපති නීතිඥ ඩික්සන් පුංචිහේවා සහ ලේකම් මහේෂ් කාංචන සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව කළුතර අධිකරණ සංකීර්ණයේ සියලුම විනිසුරුවරුන් හට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හා අධිකරණ සේවා කොමිෂන් සභාවට ද යවා තිබේ.
- සුනිල් එස්. තන්ත්‍රආරච්චි-
0 Comments