රටපුරා ව්‍යාප්ත වී තිබෙන කොරෝනා වයිරස වසංගයත් සමග මහනුවර ප්‍රදේශයේ පවත්වාගෙන යන සංචාරක හෝටල් 50 ක් පමණ තාවකාලිකව වැසී යාමේ තර්ජනයන්ට ලක්ව තිබෙන බව මහනුවර සංචාරක හෝටල් හිමිකරුවෝ පවසති. දේශීය සහ විදේශීය සංචාරකයන් මුළුමනින්ම හෝටල්වල නවතැන් ගැනීමට නොපැමිණීම හේතුවෙන් මහනුවර සංචාරක හෝටල්වල සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට ද තාවකාලිකව සිය රැකියා අහිමි වී තිබේ. මෙම සංචාරක හෝටල්වලට ආදායම් අහිමි වීමත් සමග ඒවායේ ජල විදුලි ගාස්තු ගෙවීම ද ඉතා දුෂ්කර වී ඇති බව එම හෝටල් වල කළමනාකරුවෝ පවසති. බොහෝ සංචාරක හෝටල් දැනටමත් වසා දමා තිබේ.
මෙම හෝටල් වල සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කැමැත්තෙන් සේවයෙත් තාවකාලිකව ඉවත්ව යාමට ද හෝටල් කළමනාකාරිත්වය අවසර ලබා දී තිබේ.

 එලෙස තාවකාලිකව ඉවත්ව යන සේවකයන් යළිත් රට ස්ථාවර තත්ත්ව යට පත් වූ විට ඔවුන් සේවයට බඳවා ගන්නා බවද සංචාරක හෝටල් පාලනාධිකාරිය පවසයි. රට තුළ පවතින කොවිඩ් රෝග තත්වය අවධානයට යොමු කරමින් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මත හෝටල් පවත්වාගෙන යාමට සිදුව තිබෙන බවත් බොහෝ හෝටල් නඩත්තුව හා සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට ද විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ද ස්වල්ප සේවක පිරිසක් සඳහා ආදායම් නොමැති වුවද වැටුප් මුදලක් හා ආහාර පාන ලබා දීමට ද සිදුව ඇති බවද හෝටල් කළමනාකාරිත්වය පවසයි. 

මහනුවර නගරය තුළ පිහිටි ප්‍රධාන සංචාරක හෝටල කාමර සංඛ්‍යාව 100 ඉක්මවා ඇතත් එම හෝටල සියලු කාමර අමුත්තගෙන් තොරව පවතින බැවින් හෝටල් කාමර සේවකයන්ට රැකියා අහිමි වන තත්වයක් උද්ගත වී තිබේ.  දැනටමත් 5000කට ආසන්න සංචාරක සහ ආගන්තුක හෝටල්වල සේවක සේවිකාවන්ට සිය දෙනික රැකියාවන් පවා තාවකාලිකව අහිමිව තිබෙන බව පවසන හෝටල් කළමනාකරුවෝ මෙම හෝටල් වලට පළතුරු එළවළු මස් මාංශ ඇතුළු ආහාර ද්‍රව්‍ය සපයන්නන් ද දැඩි අසීරුතාවයට මුහුණ දී ඇතැයි ද සඳහන් කරති.

 -ජේ.ඒ.එල්. ජයසිංහ-