අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ 75 වැනි ජන්ම දිනය අදට (18) යෙදී ඇත. මෙරට විධායක ජනාධිපතිධුරය දෙවරක් හෙබ වූ මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු ධුර කාලයේදී තිස් අවුරුද්දක් තිස්සේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කරමින් රටට සාමය උදා කරදුන් නායකයා ලෙස ඉතිහාසයට එක්වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩිමල් සොහොයුරකු වන අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ජනාධිපති හා අගමැති ධූරයට පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාට හා දන්දිනා සමරසිංහ මහත්මියට දාව සහෝදර සාහෝදරියන් අට දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස හෙතෙම 1945 නොවැම්බර් 18 වැනි දින  උපත ලැබීය.



 කොළඹ නාලන්දා, තස්ටන් හා ගාල්ල රිච්මන්ඩ් විදුහල්වලින් මූලික අධ්‍යාපනය ලැබූ රාජපක්‍ෂ මහතා 1974 වසරේ දී නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරිය.  තම පියාගේ අභාවයෙන් පසුව බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වූ රාජපක්‍ෂ මහතා 1970 වසරේ පැවැති මහ මැතිවරණයට තරග කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ  එවකට පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා වශයෙනි. 1977 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයට තරග කරමින් නැවත පාර්ලිමේන්ත වරම් හිමිකර ගත්තේය. අසූ අට, අසූ නවය භීෂණ සමයේ දී අතුරුදන්වූවන්ගේ සංවිධානය, මවුවරුන්ගේ පෙරමුණ ආදි සංවිධාන පිහිටුවමින් ඔහු මානව හිමිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටියේය.


1994 වසරේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් පිහිටු වූ පොදුජන එක්සත් පෙරමුණු රජයේ කම්කරු අමාත්‍යවරයා වශයෙන් පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා 1997 වසරේ සිදු වූ කැබිනට් සංශෝධනයෙන් පසුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධුරයට පත් කරනු ලැබීය. 2001 වසරේදී එම රජය බිඳ වැටීමෙන් පසුව 2002 වසරේ මාර්තු මස සිට 2004 අප්‍රේල් මස දක්වා විපක්ෂනායක ධුරය හෙබ විය.  2004 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පසුවට අග්‍රාමාත්‍යධුරයට පත්වූ හෙතෙම 2005නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්විය.  එල්.ටී.ටී.ටි සංවීධානය සමග පැවැති තිස් අවුරුදු යුද්ධය නිමාකර රටට නිදහස හා සාමය උදාකර දීමට ජනාධිපතිවරයා වශයෙන් ඔහු දුන් නායකත්වය ප්‍රශංසනීයය.


2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන්
පරාජයට පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා එම වසරේ පැවැති මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට නැවත පත්විය.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව 2015 දී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමේ දී එයට විරෝධය පළකළ රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්බද්ධ විපක්‍ෂය වශයෙන් සංවිධානය වී පාර්ලිමේන්තුවේ වෙනම කටයුතු කළහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ඔක්තෝබර් 26 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ  මහතා පත්කළ අතර එම පත්කිරිම දින 32 කට පමණක් සීමා විය. පසුව විපක්ෂනායක ධූරයට පත්වූ රාජපක්ෂ මහතා පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙමින් එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමට කැපවී ක්‍රියා කළේය.  ජනාධිපතිවරණ ජයග්‍රණයෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා මෙරට 16 වැනි ආග්‍රාමාත්‍යවරයා වශයෙන් නැවත පත්කරනු  ලැබීය.


මේ වසරේ අගෝස්තු 5 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට පත් රාජපක්ෂ මහතා යළිත් වරක් අග්‍රාමාත්‍යධුරයට පත් කරනු ලැබීය. ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සමග විවාහ වූ මහින්ද රාජපක්‍ෂ මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ වැඩිමල් පුත් නාමල් රාජපක්‍ෂ මහතා වත්මන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරයි.  “නොමියෙන මිනිස්සු, සිනමා පටයට හා බැද්දේ සෙනෙහස ටෙලි නාට්‍යයට ද රාජපක්ෂ මහතා රංගනයෙන් දායක වී ඇත.

 -නාලක සංජීව දහනායක-