කොළඹ ජාතික රෝහලේ දී පසුගිය දා මියගිය වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේ කොහිලවත්තේ පදිංචි කාන්තාවගේ නිවසේ සිටි දරුවන් ඇතුළු ආශ්‍රිතයන් හත්දෙනකු කොරෝනා ආසාදිතයන් වශයෙන් පෙරේදා (7) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
කාන්තාව මිය යාමෙන් පසු ඇයගේ නිවසේ සිටි කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු 9 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට ලක්කළ බවත් ඉන් කුඩාදරු දෙදෙනා හැර සෙසු පිරිසට කොරෝනා ආසාදිත වී ඇති බවට එහිදී තහවුරු වූ බවත් ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නලින් ෆොන්සේකා මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිත මෙම පිරිස කොස්ගම රෝහලට ඇතුළත් කළ බව ද නලින් ෆොන්සේකා මහතා කීවේය.
කොහිලවත්ත ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ කුලියට මෙම පිරිස පදිංචිව සිට ඇති අතර 68 හැවිරිදි කාන්තාවක හෘද රෝගයක් උත්සන්න වීමෙන් ඉකුත් 4 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය කාන්තාව පී.සී.ආර්. පරික්ෂණයට ලක්කිරීමේ දී ඇය කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇත. මෙම කාන්තාව ඇතුළු පිරිස පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටි නිවසක පදිංචි පිරිසක් ද එම නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක්කළ බව ද නලින් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 67 හැවිරිදි පුද්ගලයකු ද පෙරේදා (7) රාත්‍රියේ මියගොස් ඇත.
ඔහු වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද සෞඛ්‍ය අංශ පවසයි. ගත වූ දින වකවානුව තුළ කොළොන්නාව නගර සභා බලප්‍රදේශයේ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 240 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මොවුන් අතරින් වැඩිදෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
(ඉන්දිකා රාමනායක)
0 Comments