කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හෝමාගම දොලහේන හරිත පෙදෙසේ විසූ කාන්තාවක පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබූ  පසුව වාර්තාවී ඇත්තේ

ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සියදිවි හානි කර ගෙන ඇති බවය.


ඇයට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුනේ මහරගම ප්‍රදේශයේ මාළු වෙළදසැලකින්මාළු මිලදී ගෙනතිබීම නිසා බවට සැක පැනනැගිණි. රෝග ලක්ෂණ පහළවීමෙන් පසු පසුගිය 30වන දින කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලදි.

ඇය රෝහලට ගෙනයන අවස්ථාවේ ඇය සමග නිවසේ ජීවත්වූ 25 හැවිරිදි විශේෂ අවශ්‍යතා සහිත පුත්‍රයා ඇය නැතිව නිවසේ තනිව දමා යන්නට සිදුව ඇත.

මව රැගෙන යාමෙන් කම්පනයට පත් පුතු නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව ප්‍රදේශවාසින් සඳහන් කර තිබුණි. කොරෝනා නීති රීති ගැන උනන්දු වූවා මිස අදාළ දරුවා සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයා අවධානයක් යොමු නොකළ බව ප්‍රදේශවාසීන් චෝදනා කර තිබුණි.

මෙම සංසිද්ධිය පදනම් කරගෙන ඊයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ළදරුවකු, ආබාධිත අයකු හෝ තනිව තම කටයුතු කරන නොහැකි අයකු තනිකර දමා කොවිඩ් 19 වයිරසය වැළඳුණු භාරකරුවන් නිරෝධායනයට හෝ රෝහලකට රැගෙන නොයා යුතු බවයි.


එවැනි අවස්ථාවලදී ගත යුතු පියවර නිරෝධායන නීතියේ පැහැදිලිව සඳහන් වන බවද වෛද්‍ය හේරත් මහතා සඳහන් කළේය. ආබාධිත පුද්ගලයකු පමණක් නිවසේ තනිකර දමා ඔහුගේ මව නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියේ නම් එය බරපතළ වරදක් යැයි ද ඔහු කියා සිටියේය.

එම සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලන බවත් එවැනි වැරදි ඉදිරියේ දී සිදුවන්නට ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය. 

නිරෝධායනය ඉදිරියේදී නිවෙස්වලම සිදුකිරීමට තීරණය කර ඇතත් මෙවැනි තැනැත්තන් නිවසක හුදකලාවේ තබා යා නොහැකි නිසා එවැන්නන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුතු යැයි කී හේරත් මහතා විශේෂයෙන් බෝඩිම්වල රැඳී සිටින පිරිස් අවශ්‍ය අවස්ථාවල නිරෝධායන මධ්‍යස්ථානවලට යැවිය යුතුව ඇතැයි ද කීය.