ඇහැළියගොඩ හයිඩ්‍රාමනී නිට් (Hirdaramani Knit) කර්මාන්තශාලාවේ සේවකයන් 6 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගත් බව හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කර්මාන්තශාලාවේ සේවකයන් 6 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඉකුත් 21 තහවුරු කර ගත් බවත්, එම සේවකයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කල්තබා ආරක්ෂාවීමේ පියවරක් ලෙස මුළු කර්මාන්තශාලාවම විෂබීජහරණයට ලක් කළ අතර, පී.සී. ආර්. පරික්ෂණ සිදුකරන තුරු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ස්වයං නිරෝධ්‍යයනයට ලක් වන ලෙස දැනුම් දුන් බව එම නිවේදනයේ සඳහන් කර ඇත.


ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා සමාගම් පාලනාධිකාරිය අදාළ බලධාරින් සමග එක්ව කටයුතු කරමින් සිටින අතර මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීමටත් කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

කර්මාන්තශාලාව එතෙක් වසා තැබෙන බවද හයිඩ්‍රාමනී එම නිවේදනයේ සඳහන් කර ඇත.

හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මෑතකාලීනව කොවිඩ්-19 වසංගත තත්වය නැවත හිස එසවීමත් සමග අපගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතා කණ්ඩායම්, අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහජන සෞඛ්‍යය බලධාරීන් සමග එක්ව දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කළේය.

අපගේ කර්මාන්ත ශාලා සියල්ල තුළ පෞද්ගලිකව පී.සී.ආර්. පරික්ෂණ සිදුකිරීමේ පහසුකම් ස්ථාපිත කිරීමට අප පියවර ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇහැලියගොඩ හයිඩ්‍රාමනී නීට් කර්මාන්තශාලාවේ සාමාජික සාමාජිතාවන් 6 දෙනකුට කොවිඩ්-19 රෝගය ආසාදනය වී ඇති බවට නොවැම්බර් 21 දින හඳුනා ගන්නා ලදි. ඔවුන්ගේ තත්ත්වය දැනට ස්ථාවර වන අතර ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය නියම කර ඇති නිරෝධායන හා ප්‍රතිකර්ම විධිවිධාන අනුගමනය කරමින් සිටිති.


කල්තබා ආරක්ෂා වීමේ පියවරක් ලෙස සමස්ත කර්මාන්තශාලාවම විෂබීජහරණයට ලක් කළ අතර, වැඩිදුර පී.සී.ආර්. පරික්ෂණ සිදුකරන තුරු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, මෑතකදී කර්මාන්ත ශාලාව වෙත පැමිණි සියලුම දෙනාටත් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දෙන ලදි.

ආසදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා අප අදාළ බලධාරින් සමග එක්ව කටයුතු කරමින් සිටින අතර අවශ්‍ය පරිදි වැඩිදුර පරික්ෂණ සිදුකිරීමටත්, මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීමටත් මේ වනවිට කටයුතු කරමින් සිටින්නෙමු. ඒ අතරතුර කාලය තුළ කර්මාන්තශාලාව වසා තැබෙනු ඇත.

තම සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සඳහා හයිඩ්‍රාමනී සමූහය කවදත් ප්‍රමුඛත්වය ලබාදෙන අතර, දැනට මතුවී ඇති තත්ත්වය නිසා බලපෑමට ලක්වී සිටින සියලුම දෙනාට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදීමටත්, අනෙකුත් සාමාජික සාමාජිකාවන්ට හා සමස්ත මහජනතාවට ඇතිවන බලපෑම අවම කිරීමටත් අපි කටයුතු කරනෙමු. එමෙන්ම, මෙම වසංගත රෝග උවදුර මර්දනය කිරීම සඳහා කැපවී සිටින සියලුම බලධාරි අංශ වලටත්, ඉදිරිපෙළ සාමාජික සාමාජිකාවන්ටත් අපගේ නොමද ස්තූතිය හිමි වේ.

- තිළිණි ද සිල්වා -