මැලේරියාව වැනි බෝවන රෝග පාලනය කිරීම සඳහා අප්‍රිකාව පුරා සෞඛ්‍ය පද්ධති ව්‍යුහගත කර ඇති ආකාරය පිළිබඳව පසුගිය දශකය තුළ වැඩි අවධානයක් යොමු වී තිබුණි. මේ වන විට විශේෂයෙන් සහරා අප්‍රිකානු කලාපය තුළ මධ්‍යම පාන්තික ජනතාව අතර හෘද රෝග, රුධිර පීඩනය, වකුගඩු අකර්මණ්‍යතාවය මෙන්ම විශේෂයෙන් දියවැඩියාවද ඇතුළු බෝ නොවන රෝගවල ඉහළ යාමක් ද දක්නට ලැබේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය  පවසන පරිදි අප්‍රිකානු රටවල් 14 ක් ඇසුරින් කළ විශ්ලේෂණයක දී අනාවරණය වී ඇත්තේ 18.3% ක් හෝ පස්දෙනෙකුගෙන් එක් අයෙකු අප්‍රිකාවේ කොවිඩ් -19 මරණ අතර දියවැඩියා රෝගයෙන් පෙළී සිටින බවයි.  මේ වන විට අප්‍රිකාවේ මරණ 46,626 ක් පමණ වාර්තා වී ඇති අතර එය නිරපේක්ෂ හා ඒක පුද්ගල වශයෙන් යුරෝපයේ හා ඇමරිකාවේ මරණවලට වඩා බෙහෙවින් අඩු ය.

සෞඛ්‍ය අධ්‍යයන වාර්තාවල සඳහන් වන්නේද SARS-CoV-2 වෛරසය ආසාදනයෙන්ද දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ට මියයාමේ අවදානම වැඩි වී තිබූ බවයි. ඉන්  එක් වාර්තාවක් තහවුරු කර ඇත්තේ දියවැඩියා තත්වයෙන් පසු නොවන රෝගීන්ට වඩා දියවැඩියා රෝගීන්ගේ මරණ අවදානම දෙගුණයකටත් වඩා වැඩි බවයි.

එංගලන්තයේද සමස්ත ජනගහනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කොවිඩ් -19 ආශ්‍රිත මරණ වලින් තුනෙන් එකක් දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් තුළ සිදු වී ඇති බවයි.

අප්‍රිකාවේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ අනුපාතය සාපේක්ෂව අඩු මට්ටමක පැවතිය ද, සහරා අප්‍රිකාව තුළ දියවැඩියා තත්ත්වයන් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව  හෙළි වී තිබේ.

පසුගිය වසර තුළ ගෝලීය වශයෙන් දියවැඩියාවෙන් පෙළෙන මිලියන 436ක පිරිසගෙන් මිලියන 19 ක්ම සහරා අප්‍රිකාවේ සිටියද, ඔවුන්ගෙන් 60% ක් පමණ එම රෝගී තත්ත්වය පිළිබඳව දැන සිට නැත.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2030 වර්ශයේදී 48% කින් සහ 2045 දී 143% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම කලාපයේ දියවැඩියාව සඳහා වන ආර්ථික වියදම් බරපැන 2019 දී ඩොලර් බිලියන 9.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර 2045 වන විට එය ඩොලර් බිලියන 17.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මෙවන් ප්‍රවණතාවයන් තිබියදීත්, දියවැඩියා රෝගීන් සඳහා පූර්ණ ක්‍රියාකාරී සෞඛ්‍ය පහසුකම් ඇත්තේ එම කලාපයේ රටවල් 41 න් තුනෙන් එකක් සඳහා පමණි.

මේ වසරේ ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 වන දිනට යෙදී තිබූ හෙයින්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප්‍රිකාවේ දියවැඩියා තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම, වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ආයෝජනයන් කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා ඇත.

යම්කිසි පුද්ගලයෙකු ඔහුගේ හෝ ඇයගේ ශරීරය තුළින් ඉන්සියුලින් නිපදවන්නේ නැති විට හෝ ඒ නිපදවන ප්‍රමාණය නිසි ලෙස භාවිතයට ගැනීම නොකරන විට දියවැඩියාව වැළඳේ.  ඉන්සියුලින් යනු රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන හෝමෝනයකි. සියල්ල හොඳින් සෞඛ්‍ය සම්පන්නව පවතින විට ග්ලූකෝස් මට්ටම නියම ප්‍රමාණයෙන් පවත්වා ගත හැක.

සාම්ප්‍රදායිකව ප්‍රධාන වශයෙන් දියවැඩියා වර්ග දෙකක් ඇති නමුත් විද්‍යාඥයන් පිරිසක් මෑතකදී වර්ග පහක් ලෙස එය  වර්ගීකරණය කර ඇත. කෙසේවෙතත් මෙම තත්වය සමඟ දිගු කලක් ජීවත් වීම තුළින් අන්ධභාවය, වකුගඩු අකර්මණ්‍ය වීම හෝ අවයව කපා ඉවත් කිරීම වැනි නොසිතූ ඉරණම් වලට මුහුණදීමට දියවැඩියා රෝගීන්ට සිදුවනු ඇත.

උප සහරා අප්‍රිකානු කලාපයන්හි මෙසේ දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාව වර්ධනය වීමට,  කලාපයේ ආදායම් තත්ත්වය ඉහළ යාම, නාගරීකරණය සහ පුද්ගල කාර්යයන් වෙනස්වීම මෙන්ම ආහාර පුරුදු ද ඍජුව බලපා තිබේ. කෙසේ වෙතත් බොහෝ දෙනා සඳහන් කරන්නේ අප්‍රිකානු රටවල් අඩු ආදායමක සිට ඉහළ ආදායම් ලබන ආර්ථිකයන් කරා දිගින් දිගටම පැමිණීම හේතුවෙන් එම මහාද්වීපයේ දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාව ඉදිරියේදී තවත් වැඩි විය හැකි බවයි. 

-(රිස්මි ඉෂාරා)