ශ්‍රී ලංකාවේ උපත ලැබූ තරුණියක වන අංජලි ද සිල්වා ඕස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත පළාත් පාලන මැතිවරණයේදී මොනෑෂ් නගර සභාව සඳහා මන්ත්‍රීවරියක ලෙස ඉකුත්දා තේරී පත් වූවාය.  අංජලී ද සිල්වා 

මොනෑෂ් නගර සභාවට තේරි පත්ව ඇත්තේ එරට හරිත පක්ෂයෙන් වන අතර ඇය ඉදිරි සිව් වසරක කාලයේදී මොනෑෂ් නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරනු ඇත. ඇය වික්ටෝරියා ප්‍රාන්තයේ පළාත් පාලන ආයතනයකට මන්ත්‍රීවරියක  ලෙස තේරී පත්වූ ලාංකික සම්භවයකින් යුතු පළමු තැනැත්තියද වේ.



ඕස්ට්‍රේලියාවේ පදිංචි වරලත් සිවිල් ඉංජිනේරුවරුන් වූ ආචාර්ය සමන් ද  සිල්වා සහ මිහිරි ප්‍රේමතිලක යුවළගේ  වැඩිමහල් දියණිය වන අංජලී සිය බාල  සොයුරිය වන සරනි සහ මව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ සිව් හැවිරිදි වියේදීය. ඉන් පසුව එරටින් සිය පාසල් අධ්‍යාපනය ලබා ගත් අංජලී උසස් අධ්‍යාපනය සදහා මෙල්බන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය.  අජංලී එම විශ්ව විද්‍යාලයෙන්ම නීතිය සඳහා පළමු පන්තියේ ගෞරව උපාධියක් සහ ජනමාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳ උපාධියක්ද හිමි කර ගත්තාය. සිය උසස් අධ්‍යාපන කටයුතු වලින් පසුව ඇය එක්සත් රාජධානියේ ලන්ඩන්, හොංකොං සහ මෙල්බර්න් හී, ඉහළ පෙළේ පෞද්ගලික ආයතන  කිහිපයක නීතිඥවරියකද ලෙස ද  සේවය කළාය. නීතිඥ වෘත්තියට  අමතරව එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ බාක්ලේස් බැකුව සහ ස්කොට්ලන්ත රාජකීය බැංකුව වෙනුවෙන් ඇය සිය  සේවය ලබා දී ඇත.


එහිදී ඇගේ කාර්යභාරයේ කොටසක්  ලෙස මොනෑෂ් නගර සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කමිටුවේ සහ බහු සංස්කෘතික උපදේශන කමිටුවේ සාමාජිකාවක ලෙස ඇය කටයුතු කරනු ඇත.  තම වෘත්තීය ජීවිතය තුළ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් (විශේෂයෙන්ම ගැහැනු ළමුන් සහ කාන්තාවන්) වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක සහ සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කර  ඇති තරුණියක ලෙස ඇය එරට ප්‍රසිද්ධියට පත්ව ඇත. වෙනස් කොට සැලකීමකින් තොරව සියලු දෙනාගේ අවශ්‍යතා ඉටු කරන සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙසින් ඇය ඕස්ට්‍රේලියානු සමාජයේ ජනප්‍රියව සිටින්නීය.  අංජලී ද සිල්වා මෙනවිය මෙරට ප්‍රවීණ කවියෙකු වූද සිළුමිණ පත්‍රයේ හිටපු කතුවරයකු වූද අභාවප්‍රාප්ත මීමන ප්‍රේමතිලක මහතාගේ මිණිබිරියක ද වන්නීය. ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකගේ  සොයුරියකගේ දියණියකි.

 -තිළිණි ද සිල්වා-