ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනකු මෙම වසරේ මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පැවැසුවාය.

එච්.අයි.වී. වයිරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍යවරිය මේ බව පැවැසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මෙසේ ද පැවැසුවාය.


“මෙම වසරේ ජනවාරී මස සිට මේ දක්වා එච්.අයි.වී. වයිරසය වැළඳුණු නව රෝගීන් 11 දෙනකු හඳුනාගෙන තිබෙනවා. එච්.අයි. වී. වයිරසය ආසාදිත වූ 65 දෙනකු අපේ රෝහලේ ලියාපදිංචි වී සිටිනවා. ඔවුන්ගෙන් හතළිහක් පමණ අපේ සායනවලින් ප්‍රතිකාර ලබනවා.

මෙවර එච්.අයි.වී. වයිරසය ආසාදිත වූ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් සමලිංගික එහෙම නැත්නම් පිරිමි පිරිමි අතර ලිංගික ක්‍රියාවල නිරත වීම නිසා රෝගය වැළඳුණු පුද්ගලයන්. අනුරාධපුරින් හමු වූ සියයට පනහක්ම එලෙස සමලිංගික සේවනය නිසා රෝගී වූ පුද්ගලයන්.

සමස්තයක් වශයෙන් ගත්තාම දිවයිනේ අනාරක්ෂිත කාන්තාවන් පුරුෂයන් අතර ඇති වූ ලිංගික එක්වීම්වලින් සියයට හතළිහකටත්, සමලිංගික සේවනයේ යෙදුණු සියයට හතළිස්හතකටත් මෙම එච්.අයි.වී. වයිරසය වැළදී තිබෙනවා. මෙම වයිරසය වැළඳුණු මවකගෙන් දරුවකුට වයිරසය ඇතිවීමේ ප්‍රවණතාව අඩු වී තිබෙනවා. මවට ප්‍රතිකාර කිරීම නිසා දරුවාට වයිරසය වැළඳෙන්නේ නැහැ.

2025 වසරේදී ලංකාවෙන් ඒඩ්ස් රෝගය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සැලැසුම් කොට තිබෙනවා. එයට සමගාමීව අනුරාධපුර ලිංගාශ්‍රිත රෝග ඒකකය, අනුරාධපුර ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානය වශයෙන් සිය සේවාවන් පුළුල් කොට තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ යොමු කිරීමකින් තොරව සෘජුවම පැමිණ තමාගේ රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් ඕනෑම පුද්ගලයකුට ප්‍රතිකාර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම සේවා මධ්‍යස්ථානයේදී සියලුම පරීක්ෂණ නොමිලේ සිදු කරගැනීමට හැකියි" යැයි ද වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මෙහිදී පැවැසුවාය.
 - දයාරත්න ඇබෝගම -