අනතුරකින් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි කුඩා දරුවකු බස් රථයකටද යටවිමට ඔන්න  මෙන්න කියා තිබියදී තම දිවි නොතකා එම දරුවා බේරාගත් කොස්තාපල්වරයකු එම බස් රථයකට යටවීමෙන් බරපතළ තුවාල ලබා සිහි විසඥව රෝහල් ගත කළ බව අතුරුගිරිය  පොලිසිය කියයි.  මෙලෙස රෝහල් ගතකර ඇත්තේ අතුරුගිරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් රියැදුරු වීරසිංහ මහතා බව පොලිසිය කීය.  අතුරුගිරිය ගොඩගම පනාගොඩ ප‍්‍රදේශයේදී පෙරේදා 16 වැනිදා සවස මෙම අනතුර සිදු වූ බව පොලිසිය කියයි.  පනාගොඩ ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ හත් හැවිරිදි දරුවෙකු පාපැදියක් තල්ලුකරගෙන මාර්ගය හරහා යමින් සිටියදී ත්‍රීරෝද රථයක ගැටී
අනතුරට ලක්වී මාර්ගයේ වැටී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ත්‍රීරෝද රථය නොනවත්වා පලාගොස් ඇති අතර අනතුර සියැසින් දුටු සේවය නිමවා පාදුක්කේ නිවෙස කරා යතුරුපැදියෙන් යමින් සිටි කොස්තාපල්වරයා මාර්ගයේ ඉදිරියෙන් බස් රථයක් වන අයුරු දැක පදවාගෙන පැමීණි යතුරුපැදිය අත්හැර එකවරම පිටතට පැන මාර්ගයේ වැටී සිටි දරුවා බස් රථයට යට වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඉවතට ඇද දැමීමත් සමගෙම බස් රථය කොස්තාපල්වරයා ද යටකරගෙන ඉදිරියට ගොස් නැවතී ඇතැයි පොලිසිය කියයි.  සිදුවූ අනතුරින් කොස්තාපල්වරයාගේ අත් දෙකට බරපතළ තුවාල සිදුවී ඇති අතර හිස බස් රථයේ හෝ මාර්ගයේ ගැටීමෙන් ඔහු සිහි විසඥ වන්නට ඇතැයි පොලිසිය කියයි.  කුඩා දරුවාගේ පාදවලට තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි. අනතුරු දුටු ප්‍රදේශවාසීන් වහා ක‍්‍රියාත්මක වී තුවාල ලබා මාර්ගයේ වැටී සිටි කුඩා දරුවා සහ කොස්තාපල්වරයාට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිහි විසඥව සිටි පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසිය.

ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන එම බස් රථය එම අවස්ථාවේදී ඔවුන් ප්‍රවාහනය කරමින් සිට ඇතැයි පොලිසිය කියයි. කුඩා දරුවා අනතුරට ලක් කර පලාගිය ත්‍රීරෝද රථය පිළිබඳව ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.  මෙම අනතුරු දෙකම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිය පොලිසිය වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතා පැවසීය.  අත්අඩංගුවට ගත් බස්රථ රියදුරු අතුරුගිරිය වල්ගම පදිංචිකරුවකු බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත බවත් පොලිසිය කීය.


 - බිමල් ශමන් ජයසිංහ-