අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිනි කාන්තාවක් මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
 
මෙසේ මියගොස් ඇත්තේ කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ අංක 91 හි පදිංචි මුතුආරච්චිලාගේ ශෂිකලා පෙරේරා (33) නමැති රූපලාවන්‍ය ශිල්පිනියක බව පොලිසිය කියයි.

ඉකුත් දෙසැම්බර් මාසයේ විවාහ වී ඇති මෙම කාන්තාව පළමු දරු ප්‍රසූතිය සඳහා ගැබිනියක වන අතර
පවතින කොරෝනා වසංගතය හේතුවෙන් අතුරුගිරිය තිසර මාවතේ සැමියාගේ මවුපියන් පදිංචි නිවෙසේ පසුගිය දිනවල රැඳී සිට ඇතැයි පැවසේ.

එහිදී මෙම කාන්තාවට ක්ලාන්තයක් සමග ඇති වූ කුසෙහි වේදනාවක් හේතුවෙන් සුවසැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙනවිත් ඇතැයි පැවසේ. එම රෝහලේ මේ දිනවල කොරෝනා රෝගීන්ට පමණක් ප්‍රතිකාර කරන නිසා රෝගී ගැබිනි කාන්තාව සුවසැරිය ගිලන් රථයෙම කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇතැයි පැවසේ.

පසුව මෙම කාන්තාව විනාඩි විස්සක් පමණ මූලික ප්‍රතිකාර ඒකකයේ රඳවා ගෙන සිටියදී සිහිමුර්ජා වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමුකර ඇතැයි පැවසේ.

වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය රෝගියාට ප්‍රතිකාර කර ඇති අතර එහීදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා ඇතත් මාස දෙකක් වූ ගැබිනි කාන්තාව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ සිරුර පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ අතර එහීදී වාර්තා වී ඇත්තේ ඇයට කොවිඩ් වයිරසය ආසාදනය වී නොමැති බවයි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගනිමින් මියගිය කාන්තාවගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් එළඹෙන දෙසැම්බර් 26 වැනිදාට විමර්ශන වාර්තා කැඳවීමට හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු විපුල නරසිංහ මහතා තීරණය කළේය.

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත පො.කො. 67239 රණසිංහ නිලධාරිහු පරික්ෂණ මෙහෙයවති.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න