කොග්ගල ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන  කොරෝනා අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ  
ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිත මවුවරුන් දෙදෙනකුගේ කුඩා දරුවන් දෙදෙනකුටද කොරෝනා
වයිරසය 
ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග
විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

කොරෝනා ආසාදිත  මෙකී මවුවරුන් දෙදෙනා මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබති.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති  දරු දෙදෙනා වයස අවුරුදු දෙකට වඩා අඩු අය වෙති.

මෙකී දරු දෙදෙනා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කිරීමෙන් පසු  විශේෂ
ප්‍රතිකාර ඒකකයක් වෙත යොමුකිරීමට කටයුතු කරන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

මේ අතර හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරියකුටද කොරෝනා
වයිරසය අසාදනය වී ඇති බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා,  ඔහු කළුතර පොලිස්
අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කළ බවද කියයි.

ගාල්ල - කමල් විජේහේවා