කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්වල තුන්වැනි වාරයේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.  රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය මෙන්ම තොරතුරු තාක්‍ෂණය යොදාගනිමින් මෙම මස 15 වැනිදා සිට විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර මහතා පැවසීය.



ජාතික අධ්‍යාපන ආයතනය, බස්නාහීර පළාතේ ප්‍රමුඛ පාසල් හා දමිළ මාධ්‍යය සඳහා යාපනයේ ප්‍රමුඛ පාසල් ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් විෂයානුබද්ධ අධාපාපනික වැඩසටහන් සම්නපාදනය කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය. මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, විකාශන කටයුතු පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික නාලිකාවලද නියෝජිතයන්  සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය. ඒ අනුව මෙම මස 15 වැනිදා සිට දිවා කාලයේ දී ප්‍රාථමික අංශයේ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන් ද 6 සිට 11  ශ්‍රේණිවල ප්‍රධාන විෂයන් ද උසස් පෙළ පන්තිවල සියලු විෂය  ධාරාවගේ ප්‍රධාන විෂයන් සඳහා ද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි  මාධ්‍යයෙන් වැඩසටහන් විකාශය කිරීමට සැළසුම් කර ඇතැයි  ඔහු කීය.


මෙම අධ්‍යාපන වැඩසටහන් රජයේ ප්‍රමුඛ පාසල්වල ප්‍රවීණ ගුරුවරුන් විසින් සම්පාදනය කර නිෂ්පාදනය කරනු ලබන අතර, විෂය අධ්‍යක්ෂවරුන් අධීක්ෂණය කරන බව ද  ලේකම්වරයා සඳහන් කළේය. මෙම ශ්‍රේණි හා විෂයට අදාළ විකාශන කටයුතු සිදුවන නාලිකා  සහ කාලසටහන සම්බන්ධයෙන් නොවැම්බර් 15 වන දිනට  පෙර දැනුවත් කරන බව ද ලේකම්වරයා පැවසීය.


 -ඩයනා උදයංගනි-