දිගන ප්‍රදේශයේ ඊයේ (18) සිදුවූ භූ කම්පනය වික්ටෝරියා ජලාශ නිම්නයේ දිගින් දිගටම සිදුවන හුණුගල් හෑරිමේ ප්‍රතිඵලයක් විය හැකි යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල අබේරත්න මහතා පැවැසීය. මීට දෙමසකට ඉහතදී ද මෙවැනිම භූ කම්පනයක් මේ ආශ්‍රිත ප්‍රදේශයක සිදුවූ බවත්, මේ භූ කම්පන වලට හේතුව සෙවීමට පෙර වික්ටෝරියා නිම්නයේ හුණුගල් හැරිම සම්පූර්ණයෙන් නතර කළ යුතු බවත් කී හෙතෙම අනතුරුව සිදු කරන අධ්‍යයනයකින් මෙම භූ කම්පනවලට  හේතුව සොයා පිළියම් කළ හැකි බව ප්‍රකාශ කළේය.


වික්ටෝරියා ජලාශ නිමිනයෙන් සියයට පනහක වපසරියක ඇත්තේ හුණුගල් බවත්, එහි විශාල වශයෙන් හුණුගල් හාරන බවත් සඳහන් කළ අබේරත්න මහතා, මේ කටයුක්ත නැවැත්විය යුතු බව තමන් මීට  පෙර සිදුවූ භූ කම්පනයෙන් පසුව ද  බලධාරින්ට දැන්වූ බව කීවේය.  රිච්ටර් මාපකයේ 2.2ක් සඳහන් කරමින් ඊයේ සිදුවූ කම්පනය මෙන්ම මීට දෙමසකට  පෙර සිදුවූ කම්පනය ද භූමි කම්පා ලෙස සැලකිය නොහැකි යැයි පෙන්වා දුන් මහාවායවරය. මේවා සුළු කම්පනට (Colapse Quake) ලෙස හැඳින්වෙන බව ද කීය. හුණුගල් කාලයකදී දිරායන්නේ යැයි ද එවිට පොළව තුළ දොනා සැකසෙන්නේ යැයි ද කී අබේරත්න මහතා, මේ ප්‍රදේශය පුරා එසේ ඇති වූ උමං ගංගා ද පවතින්නේ යැයි සඳහන් කළේය.

මෙවන් කම්පන සුළු කොට තැකිය නොහැකි යැයි ද, මධ්‍ය කඳුකරයේ පවතින විශාලතම ජලාශය වන වික්ටෝරියා ජලාශයට මෙයින් බලපෑමක් නැතැයි බැහැර කළ නොහැකි යැයි ද පැවසූ ඔහු, මෙම ප්‍රදේශයේ හුණුගල් හෑරිම නතර කිරීමට  රජය පියවර ගත යුතු යැයි ද සඳහන් කළේය. මහාචාර්ය අබේරත්න මහතා මේ අදහස් පළ කළේ මහනුවර සිදුවූ භූ කමීපනය ගැන විද්වත් මතය කුමක්දැයි ඔහුගෙන් කළ විමසුමකදීය.

 -විනීතා එම්. ගමගේ-