රාජාංගණය, යාය 15 ප්‍රදේශයේදී බලපත් රහිතව ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි 47 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගන්නවාට උරණ වූ ඔහුගේ පුත්‍රයන් දෙදෙනාගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයකු 03 දා  තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ බව රාජාංගණ පොලීසිය කියයි. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ රාජාංගණය පොලිසියට අනුයුක්තව සේවය කරන එස්. ගමගේ නමැති පොලිස් සැරයන්වරයෙකි.



මෙම පහර කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා රාජංගණය, යාය 15 ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටියදී ඉදිරියෙන් පැමිණි වැලි පටවා ගත් රථයක් නවතා පරික්ෂා කිරිමේදී වැලි ප්‍රවාහනය කිරිම සඳහා බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වීම නිසා එම ටිපර් රථයේ රියදුරාට වැලි ටිපරයත් රැගෙන පොලීසියට යන ලෙසට උපදෙස් දී තිබේ. එහෙත් පොලිස් නිලධාරින්ගේ අණ නොතකා රියදුරා එම මාර්ගයේම වැලිහලා පළායාමට සූදානම්වන අවස්ථාවේදී ටිපර් රථයද පෙරළී රියදුරාද තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.


පසුව පොලිස් නිලධාරින් ගිලන් රථයක් ගෙන්වා ඔහු රෝහල් ගත  කොට තිබේ.  මෙම සිද්ධියෙන් පසුව සේවය අවසන් කොට සිය නිවසට 03 දා   පස්වරුවේ යමින් සිටි පොලිස්  සැරයන්වරයාට ටිපර් රථයේ රියදුරාගේ පුත්‍රයන් දෙදෙනා පොල්ලකින් පහරදී ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් පසුව මෙම පොලිස් සැරයන්වරයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කොට තිබේ.  පොලිස් සැරයන්වරයාට පහරදුන් පුද්ගලයන් දෙදෙනා රාජාංගණය, යාය 072 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20, 21 වියේ පසුවන්නන් බව පොලීසිය කියයි. ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද පොලීසිය කීය.  සැරයන්වරයාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාජාංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වති.