මේ වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සිවුදෙනෙකු වාර්තා වී ඇති බවත්, පුද්ගලයන් 420දෙනෙකු නිරෝධායනය වන බවත් මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බි.එම්. සී දිසානායක මහතා ඊයේ (02දා) කියා සිටියේය.

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 1200ක ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි. 

රෝගීන් ලෙස වාර්තා වූ පුද්ගලයන් මැදගම, වැල්ලවාය හා සෙවනගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්,

ආසාදිත එක් පුද්ගලයෙකු පමණක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වන අතර, සෙසු පිරිස් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද පැවසීය.

"මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ජනතාව දැනුම් වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේම සැකකටයුතු රෝගීන් හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. දිස්ත්‍රික් මහ රෝහලෙත්, අනෙකුත් රෝහල් ආශ්‍රිතවත් දිනකට පීසීආර් පරීක්ෂණ දහයක් පමණ රෝග ලක්ෂණ තිබුණත්, නැතත් අහඹු ලෙස ලබා ගන්නවා. ආශ්‍රිතයන් හඳුනා ගැනීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු හරහා සිදු කරනවා, රෝගීන් ආශ්‍රිතයන් හඳුනා ගැනීම හා ප්‍රාදේශීය තොරතුරු හුවමාරු කර ගැනීමේ දිස්ත්‍රික් කමිටුවක් ක්‍රියාත්මක වෙනවා.


සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු විවිධ ආයතන මගින් ප්‍රධාන කාරණා තුනක් සම්බන්ධයෙන් රට පුරාම දැනුම් වත් කරනවා. දෑත් සේදීම, මුඛ ආවරණ පැලඳීම හා මීටරයක් දුරින් සිට කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම පීටස්තර රෝගීන්, ආසාදිතයන් පැමිණෙන්න පුළුවන්. අපි සැමවිටම සැක සහිතව කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ වගේම සංචරණ කටයුතු සීමාකර ගැනීමත් අප විසින් කළ යුතුයි. මොනරාගල අපිට අවදානමක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ කියන එක කියන්න ඕනේ. කටකතා විශ්වාස කරන්න එපා. සෞඛ්‍ය අංශ හා වගකිවයුතු අංශ මගින් ලබාදෙන තොරතුරු මත පමණක් විශ්වාසය තබන්න කියන එක කිවයුතුයි.”

 - අයි. ආර් ඉන්දික -