කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් යොදාගත් පෞද්ගලික බස්රථයක්, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ දී පෙරේදා (10) රාත්‍රියේ අනතුරකට ලක්වීමෙන් බස්රථයට දැඩි හානි
සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ එහි රියැදුරා මීගමුව මහ රෝහලට ඇතුළත් කර  ඇත. රියැදුරාට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම බස්රථය මාර්ගයේ මැද ඇති ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

 අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය තුළ සිට ඇත්තේ නිශ්ශංක මුදියසේලාගේ ප්‍රදීප් නිශ්ශංක නමැති මෙම රියැදුරා පමණක් වන අතර බස් රථය කොළඹ සිට  කටුනායක දෙසට පදවාගෙන පැමිණෙමින් සිටියදී පෙරේදා (10) රාත්‍රී 10.05ට පමණ කටුනායක පොලිස් බලසීමාවේදී කිලෝ මීටර් 24.7 සහ කිල්ලෝ මීටර් 24.9 අතර  මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුර නිසා බස්රථය යළි ප්‍රයෝජනයට ගත තොහැකි ආකාරයට හානියට පත් වී ඇති අතර රියැදුරා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. අනතුර නිසා අධිවේගී මාර්ගයට ද හානි සිදු වී ඇති අතර එම අලාභය කොපමණ ද යන්න ගණනය කරමින් පවතින බව ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීහු පවසති.

 - ටී.කේ.පී. කපිල-