කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබෙන ඇඳිරිනීතිය මධ්‍යයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගති. මෙය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එදිනෙදා ජීවනෝපාය මාර්ග පවා අහිමිව පීඩාවට පත්ව සිටින තමන් කබලෙන් ලිපට වැටීමක් බව ද එම ජනතාව පවසති. කොළඹ තොග වෙළෙඳපොළ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘත කොට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිමට පියවර ගත් බව රජය පැවැසුව ද මේවා සාමාන්‍ය ජනතාව අතරට පැමිණෙන්නේ ඉබි ගමනින් යැයි ද ඔවුහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් හාල්, පොල්, ලොකු ලුනු, සීනි, පිටි මෙන්ම එළවළු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතා ඉහළ හිතු හිතු මිල ගණන් යටතේ අලෙවි කරන සුළු වෙළෙඳුන් වෙතින් තමන්ට මිලදී ගැනීමට සිදුවී ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති. රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති නමුදු වෙළෙඳපොළේ සහල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තත්වය මෙබඳු බව ද ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව කරන ලද විමසීමකදී පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුගේ සංගමයේ සභාපති ඥානම් රාජේන්ද්‍රන් මහතා පැවැසුවේ සිය සංගමයට අයත් වෙළඳසල් තොග මිලට ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සිල්ලර වෙළඳුන් හිතු හිතු මිල ගණන්වලට අලෙවි කරන බවට පැමිණිලි රාශියක් තමන්ට ලැබි ඇතත් ඒ පිළිබඳව තම සංගමයට කළ හැකි දෙයක් නොමැති බවය.
ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම රජය සතු වගකීමක් බව පෙන්වා දුන් ඒ මහතා ඊයේ (5) පිටකොටුව තොග වෙළෙඳුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ තොග මිල ගණන් මෙසේ දැක්වීය.
ලොකු ලූනු තොග මිල කිලෝව රුපියල් 150.00 ,සීනි තොග මිල කිලෝව රුපියල් 124.00 ,පරිප්පු තොග මිල කිලෝව රුපියල් 165.00 ,කඩල තොග මිල කිලෝව (පොඩි) රුපියල් 140.00, කිලෝව (ලොකු) රුපියල් 220.00 සහල් - තොග වෙළඳුගෙන් ලබාගැනීම.
නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම සතොස අලෙවිසල් මේ වනවිට වසා දමා ඇතැයි ද ඒවායේ ද රජය අඩු කළ මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති බව ද පාරිභෝගිකයෝ සඳහන් කරති. නිවෙස් ළගට ගෙනැවිත් ආහාර ද්‍රව්‍ය අලෙචි කරන ජංගම වෙළෙඳුන් මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරනුයේ ඉතා අධික මිලට බව ද සියලුම වර්ගයේ සහල් රුපියල් 100ට වැඩි බව ද ලොකු ලුනු රුපියල් 200-300 අතර වන බව ද පරිප්පු රුපියල් 185ට ද සීනි රුපියල් 135ට ද වැඩි බව ද පාරිභෝගිකයෝ පවසති.
-ජයන්ත සමරකෝන්-
0 Comments