නව කොරෝනා වයිරසය වසංගතය මැද ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය අද (3)  (ශ්‍රී ලංකාවේ වේලාවෙන්  සන්ධ්‍යා කාලයේ සිට රැය එළිවනතුරු )පැවැත්වෙයි.  රිපබ්ලිකන් පක්ෂ්‍යය නියෝජනය කරන 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂත්වෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය. හැත්තෑ හත් (77) වන වියේ පසුවන ජෝ බයිඩන් 2009 වසරේ සිට 2017 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය හෙබවීය. එම කාලසීමාවේදී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමා ය.


ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා රටේ නායකයා වන අතර, එම තනතුර සෑම අතින්ම උත්තරිතරය. සේනාධිනායකයා  වන්නේ ද ජනාධිපතිවරයා ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකු පත් කර ගැනෙන්නෙ, සිවු වසරක ධුර කාලයක් සඳහාය. එසේ පත්වන ජනාධිපතිවරයකුට, සිය සිවු වසරක ධුර කාලය අවසන් වීමත් සමග එලැඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාවක් ලැබෙයි. ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සැලැසී ඇත්තේ ජනාධිපතිවරයකුට එම ධුරයේ වාර දෙකක් සේවය කිරීම සඳහා පමණි.


එහිදී ජයග්‍රහණය කළහොත්, තවත් සිවු වසරක ධුර කාලයක් කීමිවෙයි.  වත්මන් ජනාධිපති ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිය දෙවැනි මෙන්ම අවසන් ධුර කාලයට අපෙක්ෂාවේනි. ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී උප ජනාධිපතිවරයා තෝරා ගැනීම ද සිදුවෙයි. වත්මන් උප ජනාධිපති ලෙස කටයුතු කරත 61 හැවිරිදි මයික් පෙන්ස් යළි එම ධුරය අපේක්ෂා කරයි.

ඇමරිකන් ජනාධිපතිවරණ ඉතිහාසයේ අවුරුදු 70ට වැඩි අපේක්ෂකයන් දෙදෙනකු අතරේ තරගයක් පෑවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය යැයි ද පැවැසෙයි. හැත්තෑ හත් (77) හැවිරිදි ජෝ බයින් ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන වියතම තැනැත්තා ඔහු වනු ඇත.  බයිඩන්, උප ජනාධිපති ලෙස තෝරා ගෙන ඇත්තේ සෙනෙට් සභික කමලා හැරිස් ය. කමලා හැරිස්, දකුණු ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවකි. බයිඩන්ට ජයග්‍රහණය කළහොත් කමලා හැරිස්, ඇමෙරිකාවේ උප ජනපති ධුරයට පත්වන්නෙ එම ධුරයට පත්වන පළමු කාන්තාව ලෙසය. එපමණක් නොව, ඉන්දීය සම්භවයක් ඇති සහ ආසියානු සම්භවයක් ඇති පළමු උප ජනාධිපතිවරිය වනු ඇත්තේ ද 56 හැවිරිදි කමලා හැරිස්ය.


ඇමෙරිකාවෙන් ඊයේ (2) පස්වරු වනවිට  කොවිඩි-19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 9,473,000 පසු කර තිබුණු අතර වාර්තා ගත වූ මරණ වාර්තා 2,36,471 ක් ලෙස දැක්විණි. චීනයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසයේ ෙකන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාව වන අතර දිනපතා ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙන බව ද ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරිහු බිය පළ කරති. නව කොරෝනා වයිරසය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුව මෙවර ජනාධිපතිවරණෙය පැවැත්වෙයි.


 කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ඇමෙරිකානුවන්ට අවස්ථාවක් ලැබුණි. ඒ අනුව, පෙරේදා (1) වනවිට මිලියන 92 ක පිරිසක් ඡන්දය භාවිත කර තිබුණැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන්  කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කළහ. වැඩිම වියදමක් දරා පවත්වන ඇමෙරිකානු ජනාධිපතිවරණය මෙය යැයි පැවසේ. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය  වෙනුවෙන් වැය කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 14කි.


ඇමෙරිකාවේ කොරෝනා ඔඩුදුවන්න හේතුවූයේ ජනපති ට්‍රම්ප් ප්‍රමුඛ ඔහුගේ පරිපාලනය වයිරසය නිසි ලෙස කළමණාකරණය නොකළ බැවින් යැයි චෝදනා එල්ල වෙයි. ජනමත සමීක්ෂණ අනුව,  ඇමෙරිකානුවන්ගෙන් සියයට 80 කට වැඩි පිරිසක් ට්‍රම්ප් ප්‍රතික් ෙෂ්ප කර ඇතැයි ද පැවැසෙයි. ඒ අනුව, ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට,ජනපති ට්‍රම්ප්ගේ ජය හෝ පැරදුම හෝ තීරණය කරන ප්‍රධාන සාධකය වනු ඇත්තේ කොරෝනා වසංගතයයි.



වයිරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මුඛ ආවරණ පැලදීම සම්බන්ධයෙන් හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් හෝ ජනපති  ට්‍රම්ප් තැකීමක් නොකරයි.  තමන් දිගටම ධුරයේ සිටියහොත්, මුඛ ආවරණ අනිවාර්ය නොකරන බවත්, රට ලොක්ඩවුන් කිරීම් නොකරන  බවත් ට්‍රම්ප් දිගින් දිගටම සිය මැතිවරණ රැලිවලදී අවධාරණය කර ඇත. ට්‍රම්ප් ද  කොවිඩ් 19 වයිරස ආසාදිතයකු විය. එහෙත් දිනකට කීපයක් ඇතුළත සුවය ලැබිමට ට්‍රම්ප්ට හැකි විය. ඒ,ට්‍රම්ප්ගේ වෛද්‍යවරුන් ට්‍රම්ප්ට තවමත් පරේය්ෂණ මට්ටමේ පවතින ඖෂධ ලබා දුන් බැවිනි.

කොරෝනා වසාගතය සම්බන්ධයෙන්, ප්‍රතිවාදී අපේක්ෂක බයිඩන් පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් පළමු දිනයේ පටන් තමන් කරන්නේ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම යැයි බයිඩන් පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මකෙ කරන බව ද බයිඩන් පෙන්වා දී තිබේ. මුඛ ආවරණ පෑලඳීම අනිවාර්ය කරන බවත්, සෞඛ්‍ය නිර්දේශ අනුව, රට ලොක්ඩවුන් කරන බවත් හෙතෙම වැඩි දුරටත් පවසා ඇත. එපමණක් නොව, වයිරසය නිසි ලෙස පාලනය නොකළ බැවින් ට්‍රම්ප්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරිමට ද බයිඩන් සුදානමින් සිටී. ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ යම් හෙයකින් තමන් පරාජය වුවහොත්, තමන් ඇමෙරිකාව හැර යන බවය.


වයිරස වසංගතය මැද, වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ද ඇමෙරිකාව වෙළාගත්තේ  පේාර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ඇමෙරිකානුවා සුදු පොලිස් නිලධාරියකුගේ අඩත්තේට්පටම හමුවේ මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමිනි. ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්ති ද කැපී පෙනෙන බව දේශපාලන විශ්ලේෂ්කයෝ පෙන්වා දෙති. ට්‍රම්ප්, ඊශ්‍රායලයට සහාය දක්වමින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කළේ මුළු ලොවම ඊට විරෝධය දක්වද්දීය. ලොවට තර්ජනයක් වූ උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, සාකච්ඡා පැවැත්වීමට නම්‍යශීලී වූ එකම ඇමෙරිකන් ජනාධිපතිවරයා වන්නේ ද ට්‍රම්ප්ය. ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් සංවිධාන කීපයකින්, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්, පරිසරය සුරැකිමේ පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කරගෙන තිබේ. තමන් ජනපති වුවහොත් ඒ සියලු ගිවිසුම් හා සංවිධාන සමග යළි ඇමෙරිකාව එක් කරන බවත්, විදෙස් ප්‍රතිපත්ති ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බවත් බයිඩන් අවධාරණය කර තිබේ.