කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පොදුවේ මහජනතාව විසින් භාවිත කරනු ලබන මුව ආවරණ හා අත්වැසුම් හොඳින් සෝදා වියළා ගැනීමෙන් අනතුරුව බැහැර කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා අවධාරණය කළේය. අදාළ අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කිරීම සම්බන්ධයෙන් මධ්‍යම
පරිසර අධිකාරිය විසින්  මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වෙමින් සභාපතිවරයා මේ බව කීය.  කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රජය විසින් එම ආසාදිතයන් නිරෝධායනය සඳහා හුදෙකලා කරන ලද ප්‍රදේශයන්හි මෙන්ම ස්වයං නිරෝධායනය කෙරෙන නිවෙස් වෙතින් බැහැර කරනු ලබන මුව වැසුම් හා අත්වැසුම් යනාදී අපද්‍රව්‍ය දැඩි ලෙස පරිසර හානිකර බව පෙනීගොස් ඇත.


ඒ අනුව හුදෙකලා කර ඇති ප්‍රදේශයන්හී වෙසෙන ජනතාවගේත්, නිරෝධායනය සඳහා යොමුකර ඇති නිවාසවල හා එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පොදුවේ මහජනතාව භාවිතා කරන මුවවැසුම් හා අත්වැසුම් යනාදිය පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට හානි නොවන අයුරින් බැහැර කරන ආකාරය  පිළිබඳව මෙම මාර්ගෝපදේශ මාලාවෙහි අන්තර්ගතය.


විශේෂයෙන් හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන හා සේවකයන් යොදවන ලෙස පළාත්  පාලන ආයතනවලට මෙමගින් උපදෙස් දී තිබේ. එමෙන්ම කෝවිඩ් ආසාදිතයන් විසින් භාවිත කරන මුව වැසුම් හා අත්වැසුම් යනාදිය කහ පැහැති බෑගයකට දමා වෙන්කළ යුතු වන අතර, කහ පැහැති බෑගයන්හි අසුරා ඇති අපද්‍රව්‍ය කිසිසේත් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා නොගත යුතු වෙයි. ඒ අනුව ඒවා විධිමත් පරිදි විනාශ කිරීමට පියවර ගත යුතුය.  මෙම මාර්ගෝපදේශ මාලාව සියලු පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

 - නිදර්ශණී වික්‍රමසිංහ-