පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අසීරුතාවන් සැලකිල්ලට ගනිමින් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසවල අලුත්වැඩියා කිරීමේ කටයුතු අවසන් වන තෙක් එක් මන්ත්‍රීවරයකුට ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු අධ්‍යයන පුහුණු මධ්‍යස්ථානයෙන් කාමර දෙක බැගින් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එකඟ වී තිබේ.


දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා පහසු ආකාරයට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට හැකි පරිදි නවාතැන් පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක විසින් කාරක සභාවට දැනුම්දීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දැනට අලුත්වැඩියා කරමින් පවතින මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීරිණයේ ඇති නිවාස 43ක් අතුරින් නිවාස 17ක අලුත්වැඩියා කටයුතු අවසන් කර මන්ත්‍රීවරුන් සඳහා ලබාදිය හැකි බව කාරක සභාවේ ලේකම්වරයා දැනුම් දී ඇත.

එමෙන්ම මෙම අලුත්වැඩියා කටයුතු සඳහා යොදවා සිටින නාවික හමුදා නිලධාරින් ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාවක් පවතී නම් ඉතිරි නිවාසවලට සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු ඉතා කෙටි කාලසීමාවක් තුළ අවසන් කළ හැකි බව කාරක සභාවේ ලේකම්වරයා විසින් පැහැදිලි කිරීමෙන් අනතුරුව, කාරක සභාව විසින් සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
- නවෝද්‍යා පවනි -