රටේ ජනතාව මරණ බියෙන් පසුවෙද්දී ආණ්ඩුව ගජ මිතුරු සමාගම්වලට ‘කොරෝනා වසන්තයක් උදා කර දී ඇතැයි ජනතා විමුක්ති  පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (11 වැනිදා) පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.  එහිදී ඔහු මෙසේ ද පැවැසීය.
 


"කොවිඩ් වසංගත තත්වය මේ වනවිට වැඩි රෝගීන් පිරිසක් වාර්තා වන හා වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වන ජාතික ව්‍යසනකාරි තත්වයක් බවට පත්ව තිබෙනවා. මිනුවන්ගොඩ කම්හලකින් පසුගිය ඔක්තෝබර් හතරවැනිදා  කොවිඩ් ආසාදිතයකු වාර්තා වීමට පෙර රට තුළ වාර්තා වී තිබු සමස්ත රෝගීන් ප්‍රමාණය 3,985යි. මාසයකට ආසන්න කාලයකදී, එනම් නොවැම්බර් දහවැනිදා වනවිට රෝගීන් ප්‍රමාණය 10,730කින් ඉහළ ගොස් එය 14,715ක් ලෙස භාවිතා වෙනවා. සමස්ත මරණ ප්‍රමාණය 13 සිට 41 දක්වා 28කින් ඉහළ නගිනවා. මේ වනවිට දින දෙක තුනක් තුළ රෝගීන් 1,000ක් බැගින් වාර්තා වන තත්වයක් තිබෙනවා. මුල් අවස්ථාවේදී රෝගීන් අටලුගම ගම්මානය, සුදුවැල්ල ගම්මානය, අකුරණ ගම්මානය ආදී වශයෙන් ගම්මාන ලෙසයි නම් කළේ.


එහෙත් දැන් මිනුවන්ගොඩ පොකුරක් ආරම්භව පොලිසියෙන්, බන්ධනාගාරයෙන්, රෝහලින්, වෛද්‍යවරුන්, හෙදියන්, නගර සභා සේවකයන්, රාජ්‍ය ආයතවලින් ආදී ලෙස වර්ගීකරණය කර ඉදිරිපත් කරන තත්වයක් මතුව තිබෙනවා. ඒ කියන්නේ අද සමාජයේ විවිධ තැන්වලින් රෝගීන් වාර්තා වන මට්ටමට පැමිණ තිබෙනවා. දැන් ආණ්ඩුවේ උපක්‍රමය වී තිබෙන්නේ ඇඳිරිනීතිය ඉවත් කර රෝගය සමග ජීවත් වෙමින් වැඩ කිරිමයි. මෙයින් ජනතාව අතිශය පීඩාවට පත්ව තිබේනවා. රෝග බිය, ජීවිත අහිමි වීමේ බිය ඇතිවී තිබෙන අතර බොහෝදෙනාගේ ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. එදා ආණ්ඩුවේ මාධ්‍ය හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය රෝගීන් හමු වනවිට බ්‍රේකින් නිවුස් ඉදිරිපත් කළා. අද මියයන ප්‍රමාණය ගැනවත් එවැනි තත්වයක් නැහැ.


අද ආණ්ඩුව කියන්නේ ජනතාව සහ මාධ්‍ය මෙහි වගකීම බාරගත යුතු බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව බලයට ගෙනාපු ජනතාවත් එම ක්‍රියාවලියට උදව් කරපු මාධ්‍යත් මෙහි වරදකරුවන් කරන ආණ්ඩුව උත්සාහ කිරීම සරදම්කාරි තත්වයක්. තොණ්ඩමන් අවමඟුලේ සිට ගත වූ කාලය තුළ දවසකට රෝගීන් 1,000කට ආසන්න තත්වයක් වාර්තා වන තත්වයකට රට පත්වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.  අද ජනතාව කබලෙන් ළිපට වැටී තිබෙනවා. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාවගේ 
ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ඇනහිට තිබෙනවා. ආණ්ඩුව ආර්ථික පවත්වාගෙන යමින්  රෝගය පාලනය කරනවා යැයි කීවත් රෝගය පාලනය කර හෝ ආර්ථිකය පවත්වාගෙන යාමේදී ජනතාවට සාධාරණයක් ඉටුකර හෝ නැහැ. දැන් ආණ්ඩුව ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාවට රෝගයේ වගකීමත් පීඩාවත් බාර දී තමන්ගේ හිතවත් ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට මෙම වසංගතය වසන්තයක් බවට පත් කර දී තිබෙනවා.


 ඔවුන්ට මේ ව්‍යසනයෙන් ආදායම් ඉපදවීමට අවස්ථාව ලබා දී තිබෙනවා. රුපියල් පන්දහසේ බඩු මල්ල තුළ භාණ්ඩවල වටිනාකම ඊට බොහෝ අඩු බව ජනතාව අපට පැමිණිලි කර තිබෙනවා. මීගහවත්ත ප්‍රදේශයේ බෙදන ලද බඩු මල්ලක බඩුවල වටිනාකම රුපියල් දෙදහස් නවසියයක් බව ඇතැම් මාධ්‍ය  වාර්තා කර තිබුණා. රුපියල් පන්දහස ලබාදීමේදී  හා අනු පවුල් තෝරා ගැනීමේදී විශාල අක්‍රමිකතා  සිදුවී ඇති බවට ද වාර්තා පළවනවා. ආණ්ඩුව  මෙම කටයුතු මෙයට වඩා වගකීම් සහගත ලෙස  සිදු කළ යුතුව තිබෙනවා. විදෙස්ගත වූවන් ගෙන්වීමේදී ගුවන් ටිකටිපත් වංචාවක් කරනවා. රැකියාවලට ගිය අය, ඉගෙන ගැනීමට ගිය අය, දරු වන් බැලිමට ගිය අය ,ප්‍රතිකාර ගැනීමට ගිය අය ලෙස විදෙස්ගත වූවන් කණ්ඩායම් ගණනාවක් සිටිනවා. අද  ඔවුන්ට ආපසු ලංකාවට පැමිණීමට නොහැකිව සිටිනවා.


 එයට හේතුව ගුවන් ටිකට්පත්වල මිල ගණන් ඉහළ යාමයි. අද එය සිදුවන්නේ ජාවාරමක් වෙලා. ඔවුන්ට පැමිණිමට තිබෙන විකල්ප ගුවන් සේවාවන් අත්හිටුවා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ගෙන්වීමට ගුවන් ටිකට්පත් සමාගමකට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙසේ අධික වියදම් දරා ලංකාවට පැමිණි  පසුව සිදුවන නිරෝධායන ක්‍රියාවලියත් සූදුවක්  වෙලා. රජයට අයත් ස්ථානවලට යාමට එම මගීන්ට අවස්ථාව දෙන්නේ නෑ. ඔවුන් යවන්නේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන් සතුන් හෝටල්වලටයි. මුදල් ගෙවා තිබියදීත් පී.සී.ආර්. පරික්‍ෂණ සිදු කිරීමට නැවත මුදල් ගෙවීමට ඔවුනට සිදුව තිබුණා. මෙම ක්‍රියාවලිය අහම්බයක් නෙමෙයි. එවා දේශපාලන බලපෑමකින් තොරව සිදුවනවා යැයි විශ්වාස කළ නොහැකියි.


දැන් අලුතින්ම කතාබහට ලක්ව තිබෙන්නේ ප්‍රතිදේහ පරික්ෂා කිරිමේ පරික්ෂණ කට්ටල ගෙන්වීමේ ක්‍රියාවලියයි. ලංකාවට සෞඛ්‍ය උපකරණ හෝ ඖෂධ ආනයනය කිරිමේදී ජාතික  ඖෂධ නියමන අධිකාරිය මගින් අනුමත වී තිබිය යුතුයි. ඒත් ප්‍රතිදේහ පරික්ෂණ කට්ටල ලංකාවට ගෙන්වූ ව්‍යාපාරික සමාගම කට්ටල ලක්‍ෂ 2ක්  ආනයනය කර තිබෙන්නේ මෙම අනුමැතිය ලැබීමෙන් තොරවයි.වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාව සුරාකෑමට ලක් නොකර, කබලෙන් ළිපට වැටුණු ජනතාව ගින්දරෙන් පිළිස්සීමට නොදී මේ පිළිබඳ  සරණ වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතුයි. ආණ්ඩුව මෙම කටයුත්තේදී වගකීම් සහගත විය යුතුයි. මෙම දුෂ්කර සමය තුළ අපි එකිනෙකා වගකීම් සහගත විය යුතු බවට අපිට ජනතාවගෙනුත් ඉල්ලනවා. පක්‍ෂ භේදයෙන් තොරව අප මෙම ජාතික ව්‍යසනයෙන් මිදිය යුතුව තිබෙනවා. මේ ව්‍යසනය තමන්ගේ ලාබය බවට පත්කරගත්තවුන්ට තමන්ගේ විරෝධය පළ කරන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.