වසර හතකට අධික කාලයක් රුසියාවේ මොස්කව් නුවර දේශපාලන රැකවරණ ලබමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජාතික ආරක්ෂක ඒජන්සියේ සහ CIA ආයතනයේ කොන්ත්‍රාත් සේවක එඩ්වඩ් ස්නෝව්ඩන් ඉදිරියේදී රුසියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා සුදානමින් සිටින බව වාර්තා වෙයි.
පසුගියදා ඔහු මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළ අතර, තමන්ට වසර ගණනක් පුරා ඈත්ව සිටින සිය පවුලේ සාමාජිකයන් සමඟ යළිත් එකතු වී ජීවත්වීමට අවශ්‍යව ඇතැයි පවසා තිබේ. "මගේ මවුපියන්ගෙන්, මගේ බිරිඳගෙන් වසර ගණනාවක්ම ඈත්ව සිටියා. ඒත් දැන් මම මගේ පවුලේ සාමාජිකයන් සමඟ යළිත් එකතු විය යුතුයි.” ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
ස්නෝව්ඩන් සහ බිරිඳ ලින්ඩ්සේ මේ වනවිට ඔවුන්ගේ පළමු වැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින අතර, ඔහුගේ උපතත් සමගින්ම ඔහුට රුසියාවේ පුරවැසිභාවය හිමිවීමට නියමිතව ඇත. මෙහිදී තමා සහ බිරිඳ එක්සත් ජනපද - රුසියා ද්විත්ත්ව පුරවැසිභාවය හිමි කරගැනීමට කටයුතු යොදන බවත්, රුසියාවේ ජීවත් වුවද සිය දරුවා තමන් ආදරය කරන ඇමෙරිකානු වටිනාකම් අනුව රැකබලා ගන්නා බවත් ස්නෝව්ඩන් පවසා තිබේ. "අපේ පුතා කොහේ හිටියටත් ඔහුට තමන් උපන් රටේ ඉන්නවා වගේ හැඟීමක් ලබාදීමයි අපේ අරමුණ වෙන්නේ.”
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ සහ CIA ආයතනයේ රහසිගත තොරතුරු හෙළිදරව් කළ බවට ස්නෝව්ඩන් වෙත චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනා සඳහා වන පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පිටුවහල් කළ යුතු බව එරට බලධාරීන් රුසියාවට පවසා තිබේ. යම් ලෙසකින් ඔහු එලෙස එක්සත් ජනපදයට භාරදුනහොත් ඔහුට ඇති චෝදනා යටතේ වසර 30ක සිරදඬුවමක් හිමි වෙනු ඇතැයි සඳහන් වෙයි.
0 Comments