රජයේ සහ පෞද්ගලික ආයතනවලට විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ නම ලිපිනය දුරකතන අංක බොහොමයක් වැරැදියට සටහන් කර ඇති බව එම ආයතන සඳහන් කරයි.  කොරෝනා රෝගය පැතිරීම  වළක්වාලීම සඳහා මෙම පියවර ගෙන තිබෙන අතර ආයතනවල තබා ඇති සටහන් පොත්වල පැමිණෙන පුද්ගලයා විසින්ම සටහන තැබීම
සිදුකරන හෙයින් ව්‍යාජ තොරතුරු සටහන් කර ඇති බව පසුව සිදුකළ ඇති නිරික්ෂණවලින් හෙළි වී තිබේ.

පසුගියදා කොළඹ සිට දුරගමන් සේවාවේ ද යෙදුණු බස් මගීන් පවා කොන්දොස්තරවරයාට ලබා දී ඇති ලිපින හා දුරකතන අංක වැරැදි බව බස් කොන්දොස්තරවරු පවසති. යම් ආයතනයක හෝ මගී ප්‍රවාහන බස් රථයක පැමිණෙන පිරිස් මෙලෙස සටහන් කිරිමට සෞඛ්‍ය අංශ බලධාරින් දන්වා සිටියද ජනතාව වැරැදි තොරතුරු සපයා ඇති හෙයින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ආශ්‍රිතයන් සොයා ගැනීම මෙම හේතුව නිසා නොහැකි වීම බරපතළ ගැටලුවක් වීමට ඉඩ තිබේ.

රජයේ සහ පෞද්ගලික අංශවලට දිනපතා පැමිණෙන පිරිස ජාතික හැඳුනුම්පත ආරක්ෂක අංශ නිලධාරියකුට හෝ වෙනත් වග කිව යුතු නිලධාරියකුට පෙන්වා සටහන් පොතේ සටහන් කිරීමට උපදෙස් දෙන්නෙනම් මේ තත්ත්වය අවම කිරීමට හැකි බවද බලධාරිහු කියති.


  - සනත් ගමගේ-