පවතින දත්ත අනුව කෝවිඩ් වසංගතය සමාජගත වී අවසන් බවත්, ඉදිරියේදී තවත් දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ඔහු සමඟ කළ සාකච්ඡාව මෙසේය.
රට විවෘත කිරීම සහ තුන්වැනි රැල්ල
රට විවෘත කිරීම කියන්නේ කෝවිඩ් සම්බන්ධයෙන් ගන්න පුළුවන් නරකම තීරණය. නමුත් ජනජීවිතය, මිනිස්සුන්ගේ ආර්ථිකය සහ රටෙහි ආර්ථිකය සම්බන්ධයෙන් සලකන විට ගත හැකිය හොදම තීරණය. මෙම තීරණ දෙක ගැන කතා කරද්දී රජය ආර්ථිකය සම්බන්ධයෙන් හොද තීරණයක් අරගෙන තියනවා. කෝවිඩ් සම්බන්ධයෙන් නරක තීරණයක් අරගෙන තියනවා. මේ තත්ත්වය තුළ කෝවිඩ් සම්බන්ධයෙන් නරක තත්වයකට ඉදිරි දින කිහිපය තුළදී අපි සූදානම් විය යුතු වෙනවා. තුන්වැති රැල්ලක් ඇතිවීම කියන කාරණය අපිට අනුව නම් අදාළ නැහැ. මොකද මේ රැලි ඇතිවන්නේ රෝගය සමාජගත වෙලා නැතිනම් පමණයි. අපිට තිබත දත්තවලට අනුව සහ මේ තිබෙන වටපිටාවට අනුව මේ වනවිට රෝගය සමාජගත වෙලා කියලා අපි විශ්වාස කරනවා.
සමාජගත වෙලා නැතිනම් එය වසංගත රෝග විද්‍යා අංශය මගින් ඔප්පු කළ යුතුයි. ඒ නිසා ඉදිරියට ඇතිවන්නේ තුන්වැනි රැල්ලක් නෙවෙයි. සමාජයේ හැමතැනම මේ රෝගය තිබෙන තත්වයක් තමයි ඇතිවන්නේ. අපි දන්නා නොදන්නා හැමෝටම මේ රෝගය බෝ වෙන තත්ත්වයක් ඇතිවේවී.
එවැනි තත්වයක් ඇතිවෙනවා කියලා මෙය අතහැර සිටීම නෙවෙයි අපි කළ යුත්තේ. මේ තත්වයට මුහුණ දෙනවා කියලා රජය තීරණය කරල තිබෙනවා නම් මිනිස්සු එයට මුහුණදිය යුතුයි. මේ තත්වයට සූදානම් විය යුතුයි කියන දේ අපි පැවසුවේ පසුගිය අප්‍රේල් මාසයේදී. ජනාධිපතිවරයාට සොඛ්‍ය ඇමති සහ ලේකම්ට ඒ සම්බන්ධයෙන් ලිඛිතවම අපි කරුණු ප්‍රකාශ කළා. ඒ ආකාරයට කටයුතු කළා නම් රසායනාගාර සේවාවෙහි මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. නමුත් මේ කිසිම කෙනෙක් මේ යෝජනා සැලකිල්ලට ගෙන අදාළ කමිටුවලදීවත් සාකච්ඡා කරන්නට උවමනාවක් තිබුණේ නැහැ. ඒ උවමනාවක් තිබුනෙනැති අය මේ ඇතිවලා තියන තත්ත්වයට වගකිව යුතුයි කියලා අපි කියනවා.
අපි සිදුකළ යෝජනා
රසායනාගාර සේවාවේ බහුවිධ උපක්‍රමයක් මේ සදහා භාවිත කරන ලස අපි යෝජනා කළා. දිගින් දිගටම පිසිආර් පරික්ෂණ පමණක් සිදුකළහොත් මෙය අර්බුදයකට යොමු වන බවත් අපි ප්‍රකාශ කළා. බහුවිධ උපක්‍රම ලෙස අපි උපක්‍රම තුනක් පෙන්වා දුන්නා. ඒ අනුව පිසීආර් ධාරිතාවය වැඩි කිරීමට යෝජනා කළා. ඒ අවස්ථාව වන විටත් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතෙහි පිසීආර් මැෂින් 55ක් තිබුණා. මේ සාම්ප්‍රදායික පිසීආර් මැෂින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ආකාරයට බෙදාහැරීම වගේම බහුකාර්ය පිසීආර් මැෂින් ගෙන්වීම කළයුතු බව අපි පෙන්වා දුන්නා. අද අපි කියපු කාරණය ඔප්පු වෙලා තියෙනවා. කුරුණෑගල, කඵතර, කෑගල්ල, හම්බන්තොට දිස්ත්‍රික්ක වලට පිසීආර් මැෂින් මේ වන විටත් නැහැ. ඒ වගේම ජාතික රෝහල තුළත් පිසීආර් මැෂින් එකක් තවමත් නැහැ. මේ තත්වය තුළ රට පුරාම කළයුතු පිසිආර් පරීක්ෂණ කොළඹට ගෙනවිත් කරන්න සිදුවෙලා තිබෙනවා. මේ නිසා අපි දැනුත් අවධාරණය කරන්නේ මේ කාරණය ප්‍රමාද වී හෝ දැන්වත් ඉටුකරන්න.
ඒ වගේම අලුත් තාක්ෂණය එකතු කළ අලුත් පීසීආර් මැෂිින් ගේන්න කියලා අපි කිව්වා. එහෙම ගෙන්නුවා නම් මහා පරිමාණයෙන් පීසීආර් පරික්ෂණ කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපළ, බොරැල්ල පර්යේෂණ ආයතනය, උණ රෝහල වගේ තැන්වල තමයි දැනට ඒවා තිබෙන්නේ. එය සිදුකරන්න ලෝක බැංකුවෙන් ආධාර පවා ලැබුණා. නමුත් කෝවිඩ් ඉවරයි කියලා එය කළේ නැහැ. මගහැරපු නිලධාරින් ඒවාට වග කියන්න අවශ්‍යයි.
පීසීආර් පරික්ෂණ ප්‍රමාද වීම
ඒ වගේම පිසීආර් පරික්ෂණ ප්‍රමාද වීම ගැන ලොකු කතාබහක් තිබෙනවා. ක්ෂේත්රයේ සිට පීසීආර් කිරීම සඳහා ලබාගන්නා නියදි රසායනාගාරවලට ලැබීමට දවසක් පමණ නැත්නම් ඊට වඩා කාලයක් ගත වෙන අවස්ථා තිබෙනවා. රසායනාගාරය තුළ ඒ පරික්ෂණය පැය අටක් තුළ සිදුකරනවා. නමුත් මේ අතරමැදි කටයුතුවලට වැඩි කාලයක් ගත වෙනවා. රසායනාගාර තුළ සෑම පිසීආර් පරික්ෂණයක්ම පැය 08ක් තුළ සිදුකිරීමට අපි කටයුතු කර තිබෙනවා.
මේ තදබදය අවම කරත්ත රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක් ඇතිකරත්න කියලා අපි යෝජනා කළා. ඒ වගේම පර්යේෂණාගාරය ක්ෂේත්රයට අරගන්න කියලා අපි යෝජනා කළා. ඊට අදාළ තාක්ෂණය ලබාදීමත් රජයේ වගකීමක්.
ඒවගේම ප්‍රතිදේහ පරික්ෂණ වගේම ප්‍රතිදේහජනක පරික්ෂණ සඳහාත් අවස්ථාව ලබා දෙන්න කියලා අපි යෝජනා කළා. මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කළා. පීසීආර් පරික්ෂණ වගේම ප්‍රතිදේහජනක පරීක්ෂණත්, ප්‍රතිදේහ පරික්ෂණත් සිදුකිරීමට අවස්ථාව සකස්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත්, ඔවුන් එයට ඇහුම්කන් දුන්නේ නැහැ. මේ වනවිට ප්‍රතිදේහජනක පරික්ෂණය සදහා පමණක් අවසර තිබුණත්, ප්‍රතිදේහ පරික්ෂණ තවමත් ස්ථාපිතවෙලා නැහැ. දැන්වත් මේ පරික්ෂණ සදහා අපි සූදානම් විය යුතුයි. ලංකාවේ මූලික රෝහල් වල පවා තිබෙන ප්‍රතිශක්තික රසායනික උපකරණ මගින් දවස් දෙකක් ඇතුළත ප්‍රතිදේහ පරික්ෂණ ආරම්භ කරන්න පුළුවන්. ඒ සදහා ප්‍රතිදේහ කට්ටල ගෙන්වාදිය යුතුයි. වෛද්‍ය පර්යේෂණ ආයතනය එය දිගටම වැළක්වූ නිසා මෙතෙක් එය ගෙන්වා නැහැ. ඒවගේම තවත් ජංගම රසායනාගාර අවම දහයක් හෝ හදාගත යුතුයි. එහෙම වුනොත් ක්ෂේත්රයේ පරික්ෂණ කරත්ත පුළුවන්. මේ කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉටුවෙනවා නම් ඕනම තත්වයකට මුහුණ දෙන්න අපි ලෑස්තියි.
වගකීම් පැහැර හරින කළමනාකරණය
වෘත්තිකයන් විදිහට මේ වනතුරු අපි කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. එහෙම තියෙද්දී හමුදාව මගින් පිසීආර් පරික්ෂණ කරනවා වගේ දේවල් කතා වෙනවා. අපි කියන්නේ එවැනි කතා 'පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා' වගේ කතාවක් කියලා විතරයි. බල්ලගේ වැඩ බූරුවා කරන්න ගිහින් අනාගන්න වෙනවා කියල තමයි අපිට කියන්න තිබෙන්නේ. අපේ වෘත්තිකයෝ කවුරුවත් පීසීආර් කරන්න බැහැ කියලා නැහැ. අපිට තිබෙන සම්පත්වල ප්‍රමාණයට අපී පීසීආර් කරලා තියනවා. ප්රශ්නය තිබෙන්නේ පිසීආර් කරන්න බැරිකම නෙවෙයි. ඒ සදහා පහසුකම් නැතිකමයි.
ජාතික රෝහලට ලැබුණු පරිත්යාගවලින්වත් පිසීආර් රසායනාගාරයක් පටන්ගන්න බැරිවෙලා තිබෙනවා. එයට සෞඛ්‍ය පරිපාලනය කරන වෛද්‍ය කළමනාකරණය වග කිවයුතුයි. ඒකට අපිට වගකියන්න බැහැ. කුරුණෑගල රෝහලට මැෂින් එකක් දීලත් තවම වැඩ පටන් අරගෙන නැහැ. ජාතික රෝහලට දීපු මැෂින් ඒක හරවලා යවලා. එවැනි තත්වයක් තුළ සිදුකළ යුත්තේ මෙය හමුදාවට ලබාදීම නොවෙයි. රෝහල්වල හිදිමින් දුර්වල කළමනාකරණයකින් කටයුතු කරන පුද්ගලයන්ට දඩුවම් කර ඉවත් කිරීම සහ වැඩ කරත හැකියාව ඇති අයට ඒ අවස්ථා ලබාදීම. වැඩ කරන්න බැරි අය ඉවත් කරලා ඒ වෙනුවට හමුදාව අය දැම්මට අපිට ප්‍රශ්නයක් නැහැ.
කෝවිඩ් නිසා අනෙකුත් රෝගීන් මිය යන තත්වයක් හෝ කෝවිඩ් පසුව හදුනාගන්නා තත්වයක් ඇතිවෙමින් යනවා. ඉදිරියට එය වැඩිවන්න පුළුවන්. එය වළක්වන්න නම් කෝවිඩ් ආසාදිතයන් ඉක්මනින් හඳුනාගන්නා තත්වයක් ඇති කළ යුතු වෙනවා. ඊට විවෘත කරනවා නම් ප්‍රතිදේහ පරික්ෂණ සිදුකිරීම බාහිර රෝගී අංශවලට පවරන්න. එහෙම කළොත් තමයි අනෙකුත් රෝගීන් ආරක්ෂා වෙන්නේ සහ ඔවුන් ගැන අවධානය යොමු වෙන්නේ.
ප්‍රතිදේහජනක පරික්ෂණ සම්බන්ධයෙන් දැන් බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. මේවා එක සමාගමකට පමණක් ලබාදීලා වැරදි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය කළා කියලා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. ප්රතිදේහවලටත් ඒ දේම වනකල් ඉන්න එපා. එය පටන් ගන්න කවුරුහරි සමාගමක් ඇවිත් කොමිස් මුදලක් දෙනකම් ඉන්න එපා. ඊට විවෘත කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිදේහ පරික්ෂණ සූදානම්ව තිබිය යුතු වෙනවා. මේ වනතුරු එය නොකර ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට කවුරු හෝ සමාගමක් කොමිස් මුදලක් ලබාදෙනකම්ද කියලා අපිට අහන්න සිදුවනවා.
වෛද්‍ය රසායනාගාර විද්‍යාව සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් තිබන තාක්ෂණ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන්නේ නැහැ කියලා පැහැදිලියි. එය ලබාගන්න ඔවුන් කැමත්තක් දක්වලත් නැහැ. නිවැරදිව වැඩ කරනවා නම් දැනුමැති වෘත්තීය ආයතනවල උපදෙස් ගත යුතුයි. නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන් කැමති නැහැ පීසීආර් පරික්ෂණය හැර වෙනත් පරික්ෂණ කරන්න. මොකද ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාර නඩත්තු කරන නිසා. සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ගන්න ඇතැමුන්ට පෞද්ගලික රෝහල්වල රසායනාගාර තිබෙනවා. විවිධ උපකරණ ගෙන්වන සමාගම් තිබෙනවා. මේ නිසා තමයි මේ අකමැති වෙන්නේ. ඒකපාර්ශවීය නොවී මේ වසංගත තත්ත්වය මැඩපවත්වන්න කටයුතු කරන්න කියලයි අපි කියන්නේ.
- චාමර සම්පත් -
0 Comments