විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට මෙරට වෛද්‍ය වෘත්තියෙහි කටයුතු කිරීම සඳහා ලියාපදිංචිය ලබාගැනීමෙ විභාගයට (ඇක්ට් 16) පෙනී සිටීමට නම් සම්මාන සාමාර්ථ 2ක් සහිතව උසස් පෙළ විභාගය සමත් වීම අනිවාර්ය කිරීම මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සහාව අත්තනෝමතිකව කටයුතු කර ඇති බවත්, එමගින් එම සභාව විදේශීය වෛද්‍ය උපාධිධාරින්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව එම අනිවාර්ය කළ උසස් පෙළ සුදුසුකම් නොසලකා විදේශ වෛද්‍ය උපාධිධාරින්ට එම විභාගය (ඇක්ට් 16) සඳහා පෙනී සිටීමට අවසර ලබාදෙන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව දී ඇත්තේ විදේශීය වෛද්‍ය උපාධිධාරින් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.


මත්තෙගොඩ පදිංචිකරුවකු වන එම්.ආර්.එස්. සිල්වා මහතා ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු සිවුදෙනෙක් නම් කරනු ලැබ සිටිති.  අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුෙර්රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නඩු තීන්දුව ලබාදෙන ලදී.

අනෙකුත් විනිසුරුතුමන්ලාගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බි. දෙහිදෙණිය මහතා විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වේ.

මෙම තීන්දුව මීට අදාළ අනෙකුත් පෙත්සම්වලට ද වලංගු වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනාම විදේශ විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලැබුවෝ වෙති. ඔවුහු ලංකාවට පැමිණි පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන වෛද්‍ය වෘත්තියෙහි කටයුතු කිරීම සඳහා ලියාදපදිංචිය ලබාගැනීමේ විභාගය (ඇක්ට් 16) සඳහා පෙනී සිටීමට අයදුම් කර සිටි නමුත් ඊට අවසර නොලැබූහ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඊට හේතු වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ 2010 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් අනුමත කරනු ලැබූ විදේශ වෛද්‍ය උපාධිධාරින් සඳහා වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පූර්ව ඇතුළත් වීමේ සුදුසුකම් ඔවුනට නොතිබීමය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් සම්මත කරගනු ලැබූ පූර්ව ඇතුළත් වීමේ සුදුසුකම් සඳහා අධිකරණයේ අවධානය පෙත්සම්කරුවෝ යොමු කර සිටිති. එම සම්මතය අනුව 2010 වසරේ ජුනි 10 වැනි දින සිට ඉදිරියට විදේශ වෛද්‍ය උපාධි පාඨමාලා හදාරන පුද්ගලයන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව /ගණිතය සමත් වී ඊට සම්මාන සාමාර්ථ 2ක් ද ලබා තිබිය යුතුය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙම පූර්ව සුදුසුකම් අසාධාරණ සහ අයුක්ති සහගත වන බවයි.

ජනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල විශේෂ විධි විධාන පනතේ 4 වැනි ඡේදය අනුව එම වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ මූලිකම සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සඳහා සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා තිබීමයි.


ඒ අනුව පනතට මෙම විධිවිධානය ඇතුළත් කිරීමෙන් පාර්ලිමේන්තුවේ අරමුණ ඉතා පැහැදිලි වේ. ඉන් කියැවෙන්නේ වෛද්‍ය උපාධිය අධ්‍යයනය කිරීම සඳහා අවම සුදුසුකම වන්නේ උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් බවත්ය.

තව ද වෛද්‍ය උපාධිය අධ්‍යයනය කිරීම සඳහා අවම සුදුසුකම තීරණය කිරීම විශ්වවිද්‍යාලයේ කාර්යයකි. ඊට ශ්‍රී ලංකා වෛද්‍ය සහාවට මැදිහත් විය නොහැක.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තර්කය වන්නේ වෛද්‍ය ආඥා පනතේ 29(2) 11 වගන්තිය අනුව විදේශ වෛද්‍ය උපාධිධාරින් සඳහා විභාග පැවැත්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලය පැවරී ඇති බවය. මෙම විභාගය සමත් නොවුණහොත් ඔවුනට වෛද්‍ය වෘත්තියේ කටයුතු කිරීමට නොහැකි බව ද වෛද්‍ය සභාව පෙන්වා දෙයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පූර්ව ඇතුළත් වීමේ සුදුසුකම් සම්මත කිරීමට බලය ලබා දී නොමැත. ඒ අනුව වෛද්‍ය සහාවේ තර්කය අධිකරණයට පිළිගත නොහැක.

ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණ අනුව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවය. එසේම එමගින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට බරපතළ හානි වන බවය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෙත්සම්කරුවන්ට 12(l) සහ 14(1) වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝයනය කර ඇති බවට තීන්දු කරන බව ද රටෙහි නීතියට පටහැනිව පූර්ව ඇතුළත් වීමේ සුදුසුකම් සම්මත කරගනිමින්, විදේශීය වෛද්‍ය උපාධිධාරින්ට මෙරට වෛද්‍ය වෘත්තියෙහි කටයුතු කිරීම සඳහා ලියාපදිංචිය ලබාගැනීමේ විභාගයට පෙනී සිටීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අත්තනෝමතිකව කටයුතු කර ඇති බව ද තීන්දුවේ සඳහන් වේ.

එබැවින් අදාළ විභාගයට පෙනී සිටීමට පෙත්සම්කරුවන්ට ඉඩ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කරන බව ද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව ගුණතිලක හා රජයේ නීතිඥ සුරේන් ඥානරාජ් යන මහත්වරු පෙනී සිටියහ.
- රංජන් කටුගම්පොළ  -