වර්තමානයේදී ලොව පුරා ව්‍යාප්ත වී ඇති COVID -19 වෛරසය හා සමාන නව මාදිලියේ කොරෝනා වෛරසයක් සොයා ගැනීමට ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසකට හැකියාව ලැබී ඇත.


ගුහා වවුලන්ගේ අසූචි තුළ තිබී ඔවුන් මෙම වෛරසය හඳුනාගෙන තිබේ.

මෙම පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට දැනට වසර හතකට පමණ පෙරාතුව එරට වනාන්තරයේ  වෙසෙන කුඩා ප්‍රමාණයේ horseshoe වවුලන්ගේ අසුවී තුළ තිබී මෙම රෝග කාරක බීජය සොයාගෙන ඇත. අනතුරුව මෑතකදී ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එය නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසයට හේතු වන SARS-CoV-2 වෛරස හා සමාන ලක්ෂණ සහිත බවට හඳුනාගෙන තිබේ.

පර්යේෂකයන් පවසන ආකාරයට මෙම නව වෛරසයේ ජානමය සැකැස්ම SARS-coV-2 වෛරසයේ සැකැස්ම හා 81.5% ක ප්‍රමාණයකින් සමාන වෙයි. ඒ අනුව වර්තමාන වසංගතය සඳහා හේතු වූ වෛරසය හා සමාන  රෝග කාරක බීජයක් ජපානය තුළින් හමුවුණු පළමුවැනි අවස්ථාව මෙය බවද ඔවුන් පවසා සිටියි.

කෙසේ වෙතත් මෙය SARS-COV-2 වෛරසය හා සමාන කොරෝනා වෛරස හඳුනාගත් පළමුවැනි අවස්ථාවද නොවෙයි. මීට පෙර චීනයේ තිබී එම වෛරසයේ ජාන සැකැස්ම හා 95%ක සමානාත්මතාවක් සහිත කොරෝනා වෛරසයක් හඳුනාගෙන තිබේ.